කෝවිඩ්-19 වෛරසය වැලඳී මිය යන පුද්ගලයන්ගේ මෘතදේහ භූමදානය කිරීමට අවසර ලබාදෙන්නේදැයි යන්න පිළිබඳවත්, ඊට අදාළව පවතින නීතිය කුමක්දැයි රජය විසින් ස්ථිරව ප්‍රකාශයට පත් කළ යුතු බවත් බොදුබල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ පැවසුහ. එක් එක් අය විවිධ මත ප්‍රකාශයට පත් කිරීම වෙනුවට මේ පිළිබඳ එක් තීරණයක් ගෙන ප්‍රකාශයට පත් කළ යුතු බවද ඥානසාර හිමියෝ සඳහන් කළහ.
ඥානසාර හිමියෝ මේ බව පැවසුවේ ඊයේ (10දා) රාජගිරිය, ශ්‍රී සද්ධර්මරාජික විහාරයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ,


“කෝවිඩ් වසංගතය නිසා මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහ පුච්චනවද? වළලනවද කියන ප්‍රශ්නය දැන් ඇති වෙලා තියෙනවා. සිලෝන් තවුහිද් ජමාත් සංවිධානයෙන් ඒ ගැන ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට ලිපියකුත් යොමු කරලා ස්තුති කරලා තියෙනවා. සමස්ත මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය ආණ්ඩුවට ස්තුති කරලා තියෙනවා.


මේ වෙලාවේ මතක් කරන්න ඕන රාජපක්ෂ උන්නැහේන්ගේ ආණ්ඩුවට, මිනිහෝ පොඩ්ඩක් හැරිලා බලපිය ආපස්ස කියලා. අපි 2010 ඉඳන් 2015 වෙනකල් මහින්ද රාජපක්ෂ මහත්තයගේ  ආණ්ඩුව කාලේ මේ රට බෙදන, ඇමෙරිකාවේ මුදල් මත යැපෙන සෞදී උවමනා අනුව කටයුතු කරන මේ තවුහිද් ජමාත් සංවිධාන ගැන කිව්වා. අපි එත් මේ ගැන කියදි රාජපක්ෂලා මේ ගැන ඇහුම්කන් දෙන්නේ නැතුව  ක්‍රියා කළා. ඒ නිසා ගෝඨාභය උන්නැහේටත් කියනවා ඔහේ  මේ හදන්නේ අයියා වැටුණ වලේම වැටෙන්න කියලා. අපි කරුණු ඇතිව ඔප්පු කරලා පෙන්නුවා මේ අබ්දුල් රාසික්ලා වැනි අයගේ ක්‍රියා පිළිබඳව.
අත්අඩංගුවට ගන්න කිව්වට ඇහුවේ නෑ. මේ මිනී වළදානවද පුච්චනවද කියන එක අපට ප්‍රශ්නයක් නෑ. ඒක  ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන මාර්ගෝපදේශ අනුගමනය කරලා කරන්න පුළුවන්.

රටක තියෙන්න ඕන එක නීතියක්. අපට පිළිගත හැකි නිර්දේශ තියෙනවා. මේ කෝවිඩ් මරණවල මුස්ලිම් මරණයක් දෙකක් වාර්තා වුණාට පස්සේ ෙෙවද්‍ය අනිල් ජාසිංහ මහතා කිවා මොන හේතුවක් නිසාවත් භූමදානය කරන්න එපා කියලා. ලෝක සෞඛ්‍ය සංවිධානය සමහර රටවලට අවසර දීලා තිබුණා. ඒ රටවල භූ විෂමතාව අනුව ඒක හරි වුණාට ලංකාවට ඒක ගැළපෙනවද කියන ප්‍රශ්නය තියෙනවා.


මේක මුස්ලිම් ප්‍රජාවගේ සංවේදී කාරණාවක්. මේ මුස්ලිම් සමාජය පවා ප්‍රතික්ෂේප කරන කණ්ඩායම් තමයි මේ ආණ්ඩුව එක්ක කටයුතු කරන්නේ. මෙහෙම වෙන්න පුළුවන්ද? මේ ගන්න තීන්දු ගැන එක එක්කෙනා එක එක  දේවල් නොකියා කෙනෙක් ඇවිත් කියන්න මොකක්ද රජයේ තීරණය කියලා" යැයිද කියා සිටියහ.