ස්වයං නිරෝධායනය වෙමින් සිටි අයකු උඩහමුල්ල තලපත්පිටිය ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසලකට පැමිණීම හේතුවෙන් එම වෙළඳසල වසා එහි සේවක සේවිකාවන් 22ක් දින 14ක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට ඉකුත් 2 වැනි දා කටයුතු කළ බව පිටකෝට්ටේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 

එම පුද්ගලයා පසුගිය දා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළට ගොස් ඇති බවට

තොරතුරු අනාවරණය වීම නිසා ඔහු ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනය කීරීමට මහජන සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කර ඇත. එසේ නිරෝධායනයේ සිටියදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් ඔහුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වී ඇත.

වෛරසය ආසාදිත එම පුද්ගලයා ඔහුගේ නිවසේ ස්වයං නිරෝධායනයට ලක්කර සිටියදී නිරෝධායන නීති කඩකරමින් ඉකුත් 27 වැනිදා මෙම වෙළෙඳසලට පැමිණ ඇති බවට ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්. රුවන් ප්‍රියන්ත මහතා පැවැසීය. 

එම වෙළෙඳසලේ බලධාරීන්ගේ ඉල්ලීම අනුව වෙළෙඳසල පූර්ණ විෂබීජහරණය කිරීමෙන් අනතුරුව වෙනත් සේවක සේවිකාවන් පිරිසක් යොදවා නැවත විවෘත කිරීමට කටයුතු කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ.එම්. රුවන් ප්‍රියන්ත මහතා කීය.

- ප්‍රියන්ත ජයලත් -