බස්නාහිර පළාතේ වසාදමා ඇති සියලුම ආර්ථික මධ්‍යස්ථා විවෘත කිරීම පිළිබඳව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කරුණු පැහැදිලි කර තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළදාමට පමණක් විවෘත වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. බස්නාහිර පළාත තුළ නිරේධායන ඇදිරිනීතිය පැවතියද 2020.11.04 බදාදා සිට තොග වෙළදාම්

සඳහා මෙම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. 

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි, ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජනාධිපති කාර්යසාධක බලකාගේ සභාපති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද අරලියගහ මන්දිරයේ දී පැවති සාකච්ඡාවේ දී මෙම තීරණ වලට එළඹි බව අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව රත්මලාන නාරාහේන්පිට බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථානවල සේවකයන් හෙට 2020.11.03 වන දින PCR පරීක්ෂණ වලට ලක්කොට එම මධ්‍යස්ථාන විවෘත කිරීමට රජය තීරණය කර තිබෙයි.

මෙම ආර්ථික මධ්‍යස්ථාන අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා ඇතුලු නිලධාරීන්ගේ නිරීක්ෂණයට අද ලක් වුණා. ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව අපහසුතාවයට පත් නොවන පරිදි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ වැඩපිළිවෙල මෙලෙස ක්‍රියාවට නැංවීමට රජය තීරණය කර තිබෙයි. සිල්ලර වෙළඳාම මෙම ආර්ථික මධ්‍යස්ථාන වල සිදු නොවන බවත්, බලපත්‍ර සහිත තොග වෙළදුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දීමට මෙම සාකච්ඡාවේ දී තීරණය කළ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

එක් ආයතනයකට වාහන 15 ක් සඳහා බලපත්‍ර නිකුත් කොට, සුපිරි වෙළඳ සංකීර්ණ ද විවෘත කොට භාණ්ඩ බෙදාහැරීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට මෙම සාකච්ඡාවේ දී තීරණය වූ බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.