ශ්‍රී ලංකා බේස්බෝල් සම්මේලනයේ නව සභාපති ලෙසින් නිශ්ශංක සේනාධිපති මහතා තේරී පත්විය.

ඒ පෙරේදා (31දා) පැවැති එම සම්මේලනයේ නිලවරණයේදීය. මෙය මාර්ගගත (Online) ආකාරයට පැවැත්වූ අතර, එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමලනයක නිලවරණය මාර්ගගත ආකාරයට පැවැත්වූ පළමු අවස්ථාව ලෙසින්

ඉතිහාසගත විය.
මෙවර සම්මේලනයේ සියලු තනතුරු නිතරඟයෙන් තේරී පත්වීම විශේෂත්වයකි.

බේස්බෝල් සම්මේලනයේ නව සභාපති ධුරයට පත් සේනාධිපති මහතා ශ්‍රී ලංකාවේ ප්‍රකට ආරක්ෂක සේවා සමාගමක් වන ඇවන්ට් ගාඩ්'හි සභාපති ධුරයද හොබවන අතර, ඔහු මීට පෙර ශ්‍රී ලංකා පැසිපන්දු සම්මේලනයේ ද සභාපතිවරයා ලෙසින්ද කටයුතු කළේය.

මීට අමතරව බේස්බෝල් සම්මේලනයේ විධායක උපසභාපතිවරයකු ලෙසින් ශ්‍රී ලංකා ඔලිම්පික් සම්මේලනයේ වත්මන් උපසභාපතිවරයකු වත අසංග සෙනවිරත්න මහතා තේරී පත්විය. අසංග මහතා වසර ගණනාවක් ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ  සභාපති ධුරයද හෙබවීය. 

සම්මේලනයේ අනෙක් විධායක උපසභාපතිවරයා ලෙසින් මනෝජ් ප්‍රනාන්දු මහතා පත්වූ අතර, ඔහු ශ්‍රී ලංකාවේ බේස්බෝල් ක්‍රීඩාව ඉදිරියට ගෙන යාම සඳහා පසුගිය වසර 35ක කාලය තුළ සිය දායකත්වය ලබා දුනි. සම්මේලනයේ නව ලේකම්වරයා ලෙසින් සංඛ අබේවික්‍රම මහතා තේරී පත්විය. සම්මේලනයේ උපසභාපතිවරුන් ලෙසින් හිටපු ලේකම් රජිත් රත්නායක හා උප සභාපති සුජීවන් සේනාරත්න යන මහත්වරු තේරී පත්වූහ.

මෙහිදී තේරී පත්වූ අනෙකුත් තනතුරු අතරට සහාය සභාපතිවරයා ලෙසින් ඩිලන් ප්‍රනාන්දු, භාණ්ඩාගාරික ලෙසින් අකිල ප්‍රේමතිලක, සම්බන්ධීකාරක ලෙසින් පුබුදු කොඩිකාර, පිරිමි ජ්‍යෙෂ්ඨ ලීගයේ සභාපතිවරයා ලෙසින් චානක රුක්ෂාන් රත්නායක, කුඩා ලීගයේ සභාපතිවරයා ලෙසින් නුවන් තිලිණ ජයසිංහ, කාන්තා බේස්බෝල් සභාපති ලෙසින් සුගත් දිසානායක, පියමි ජ්‍යෙෂ්ඨ ලීගයේ අධ්‍යක්ෂවරයා ලෙසින් චතුරංග රණසිංහ, කුඩා ලීගයේ අධක්ෂවරයා ලෙසින් චමත් ශ්‍රීනික , කාන්තා බේස්බෝල් අධ්‍යක්ෂවරයා ලසින් භානුක සෙනරත් යන මහත්වරු පත්වූහ.


- ඕෂිත වරකපිටිය -