පාර්ලිමේන්තු සංකීර්ණය අසල දියවන්නා ඔයට පොල්දූව පාලම අසලින් අනවසරයෙන් බෝට්ටුවකින් ඇතුළුවී මසුන් අල්ලන බවට ලද තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය ආරක්ෂක අංශයේ යාත‍්‍රාව එම අනවසර බෝට්ටුවේ ගැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයකු ඔයට විසිවී ඊයේ (11 දා) අලූයම 01.00ට පමණ අතුරුදහන් විය. අනෙක් පුද්ගලයා ඉවුරේ අනෙක් කෙළවරට පිහිනා දිවි බේරා ගෙන ඇති බව වැලිකඩ පොලිසිය පැවසීය.


මෙම පුද්ගලයන් දෙදෙනා රාත‍්‍රී කාලයේ දී මසුන් ඇල්ලීම සඳහා පොල්දූව පාලම අසලින් ඇති ඔයේ ආරක්ෂිත දැල ඉවත් කර පාර්ලිමේන්තු කලාපයට ඇතුළු වී වත්මන් යුද හමුදාපතිවරයාගේ දියවන්නා ඔය අසබඩ පිහිටා ඇති නිල නිවාසය පිටුපසට වන්නට මසුන් ඇල්ලීම සඳහා දැල් යොදමින් සිටි අවස්ථාවේ දී යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් මෙම පුද්ගලයින්ට එම ස්ථානයෙන් වහාම ඉවත් වෙන වන ලෙස දැනුම් දී ඇතත් එම දැනුම් දීමට අනුව එම ස්ථානයෙන් ඉවත් නොවූ නිසා යුද හමුදාපතිවරයාගේ නිල නිවාසය අසබඩ ඇති දියවන්නා ඔයේ ආරක්ෂිත කලාපයේ සේවය සඳහා යොදවා ඇති ආරක්ෂක නිලධාරීන් විසින් වේගවත් යාත‍්‍රාවකින් මෙම  බෝට්ටුව පරීක්ෂා කිරීමට ගොස් ඇත. එම අවස්ථාවේ දී පැවැති අධික අන්ධකාරය හේතුවෙන් ආරක්ෂක අංශයේ භටයින් ගමන් ගත් යාත‍්‍රාව අනවසර බෝට්ටුවේ ගැටීමෙන් අනවසර බෝට්ටුවේ සිටි එක් අයකු ඔයට වැටී අතුරුදන් වී ඇති බවත් එම පුද්ගලයා සමග පැමිණි අනෙක් පුද්ගලයා ඔයේ ඉවුරේ කෙළවරකට පිහිනා පැමිණ දිවි බේරා ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ වැලිකඩ,

රාජගිරිය, බුත්ගමුව ප‍්‍රදේශයේ පදිංචි රාජේන්ද්‍රන් රවින්ද්‍ර නමැති 26 හැවිරිදි දෙදරු පියෙකි. ඔහු සමග සිටි අනෙක් පුද්ගලයා 29 හැවිරිදි අයෙකි. එම පුද්ගලයා යුද හමුදාපතිවරයාගේ ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින් පොලිසියට භාර දී ඇත.

ඔයට විසිවී අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාවේ කිමිදුම්කරුවන් සහ පොලිසියේ කිමිදුම්කරුවන්
එක්ව මෙහෙයුමක් ආරම්භ කර ඇත. එකොළොස් වැනිදා සවස් කාලය වනතුරු දියේ ගිලී තිබූ අය සොයා

ගැනීමට මහත් පරිශ‍්‍රමයක් දරමින් තිබිණි.

අත්අඩංගුවට පත් පුද්ගලයාගෙන් ලද ප‍්‍රකාශ අනුව මෙම පුද්ගලයන් දෙදෙනා දියවන්නා ඔයේ මසුන් ඇල්ලීමට පැමිණ ඇති බව මූලික විමර්ශනවල දී හෙළි වී ඇත. මෙම පුද්ගලයින් මසුන් ඇල්ලීම සඳහා ඔයට පැමිණියේ ද නැත්නම් වෙනයම් කටයුත්තක් සඳහා පැමිණියේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය මහතාගේ සහ නුගේගොඩ කොට්ඨාස භාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රදීප් රත්නායක මහතාගේ උපදෙස් පරිදි වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ අධීක්ෂණය යටතේ වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ සිදුකරති.

එස්.ඞී අබේසිංහ - මහරගම