හුදෙකලා කෙරුණු ප්‍රදේශවල සංචරණ සීමා කඩකරන්නන් පිළිබඳව තොරතුරු රැස් කිරීම සඳහා ඩ්‍රෝන යානා යෙදවීමට කටයුතු සූදානම් කර ඇතැයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුශාන් විජේසිංහ මහතා පැවැසීය.


එම ඩ්‍රෝන යානා මෙහෙයවීම සඳහා වෙනම නිලධාරීන් කණ්ඩායමක්ද සුදානම් කරන බව කී විජේසිංහ මහතා එම කණ්ඩායම පොලිසියේ සහායට හැකි සෑම අවස්ථාවකම ක්‍රියාත්මක වනු ඇති බව ප්‍රකාශ කළේය.

මේ අතර, කොරෝනා රෝගීන් ඇතුළු සැකකටයුතු පුද්ගලයන් මෙරටට ඇතුළුවීම නිරික්ෂණය කිරීම සඳහා නිරික්ෂණ ගුවන් යානා කිහිපයක් රට වටා මුහුදු තීරයේ යොදවා ඇතැයිද ගුවන් හමුදා මාධ්‍යය ප්‍රකාශකවරයා කීය.

එවැනි සැකකටයුතු පැමිණීම් නිරික්ෂණය වූ වහාම ඒ පිළිබඳ තොරතුරු නාවික හමුදාවට නොපමාව දැනුම් දීමට පියවර ගන්නා බවත් ඒ ආකාරයට තොරතුරු රැසක් නාවික හමුදාවට දැනටමත් ලබාදී ඇති බවත් දුෂාන් විජේසිංහ මහතා පැවැසීය.

වෙනත් ගමන් බිමන් යන යානාවලටත් ඒ කටයුතු අතරතුර යම් යම් ප්‍රදේශ නිරීක්‍ෂණයට උපදෙස් දී ඇතැයිද ඔහු කීය. මෙයට අමතරව මහ මුහුදේ කෙරෙන විවිධ හොර ජාවාරම් පිළිබඳවත් නිරන්තරව නිරීක්‍ෂණය කරන බව ගුවන් හමුදාව පවසයි.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු කලාපයේ මේ දිනවල සුලබව කෙරෙන කහ ජාවාරම් පිළිබඳවද සෙවිල්ලෙන් සිටින බව සඳහන් කරන එම හමුදාව කොරෝනා නීති නොපිළිපදිමින් මහ මුහුද මැදදී ඉන්දීය ධීවරයන් හා සමීපව මාළු මිලදී ගැනීම යනාදී කටයුතු ගැනද සොයා බලන බවද පැවැසීය.

- සුජිත් හේවාජුලිගේ -