'කෝවිඩ්-19" වසංගතය හේතුවෙන් කල් දැමුණු ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානය පෙරහුරුවක් ලෙසින් ජපානය විසින් සිව්කොන් ජිම්නාස්ටික් තරඟාවලියක් සංවිධානය කර තිබුණි.


'කෝවිඩ්-19" වසංගතයෙන් අනතුරුව ජපානයේ පැවැති පළමු ක්‍රීඩා තරඟාවලිය මෙය වන අතර, එරට ඔලිම්පික් සංවිධායකයන් පවසා සිටියේ කිසිඳු බියකින් තොරව ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට ජපානයට හැකි බවයි.

ටෝකියෝ ඔලිම්පික් සංවිධායකයන් පැවසුයේ 'කෝවිඩ්-19" වයිරසයට එන්නතක් පිළිබඳ ප්‍රවෘත්තිය සහනයක් වන නමුත් කල් දැමූ ක්‍රීඩා සඳහා ඔවුන්ගේ ජෛව ආරක්ෂණ සැලසුම නොවෙනස්ව පවතින බවයි. ඔලිම්පික් බලධාරීන් පවසා ඇත්තේ 'කෝවිඩ්-19" වයිරස් එන්නත, 2021 ජූලි මස අගදී ආරම්භ කිරීමට නියමිතව ඇති ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා පූර්ව කොන්දේසියක් නොවන බවයි.

"ටෝකියෝ ඔලිම්පික් සංවිධායක කමිටුව හැමවිටම අවදියෙන් ඉන්නේ. අනෙක් කරුණ අපි ධනාත්මකව සිතනවා. අපි දැන් කරන්නේ එන්නත ගැන සිතීම නොවේ. මන්ද අපට තවමත් එන්නතක් නොමැති නිසා.

පරීක්ෂණ, සමාජ දුරස්ථභාවය සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ අනෙකුත් පාර්ශවකරුවන් අතර සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු කිරීම තමයි අපි මේ වනවිට අවධානය යොමු කර ඇති කරුණු." යැයි ටෝකියෝ 2020 ක්‍රීඩා උළෙලේ නිලධාරී හිදේමාසා නකමුරා මාධ්‍ය අමතමින් පැවසීය. 


එක්සත් ජනපද ඔෟෂධවේදියෙකු වන ෆයිසර් විසින් 40,000කට අධික පිරිසක් සම්බන්ධ කරගනිමින් 'කෝවිඩ්-19" මැඩලීම සඳහා එන්නතක් පිළිබඳ පරීක්ෂණ සිදුකර ඇති අතර එහි ප්‍රතිඵල සාර්ථක වී තිබේ. මෙම කරුණ ටෝකියෝ ඔලිම්පික් සංවිධායක මණ්ඩලයටද සහනයක් වී ඇත.

'කෝවිඩ්-19" වසංගතය පැවතියද ටෝකියෝ ඔලිම්පික් උළෙල පැවැත්වීමට තමාට හැකි බව ජපානය පවසයි. ඊට ඔවුන් හොඳම නිදර්ශනයක් ලෙස පෙන්වා දෙනූයේ රටවල් 04ක සහභාගිත්වයෙන් පසුගිය ඉරිදා (08දා) පැවැති ජිම්නාස්ටික් තරඟාවලියයි. මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 30ක් සහ ප්‍රේක්ෂකයන් 2,000ක් පමණ සහභාගි වූ අතර, නකමුරා පැවසුයේ ඔලිම්පික් හා පැරාලිම්පික් ක්‍රීඩා කළ හැකි බවට එය හොඳම සාක්ෂිය බවයි.

මෙම සිව්කොන් ජිම්නාස්ටික් තරඟාවලිය සඳහා එක්සත් ජනපදය, චීනය සහ රුසියාව යන රටවල විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් එක්ව සිටි අතර ජපානයට පැමිණීමට පෙර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හුදෙකලා වීමට සිදුවිය. 

අනතුරුව ජපානයට පැමිණීමට පැය 72කට පෙර 'කෝවිඩ්-19" පරීක්ෂණ වාර්තා සෘණාත්මක විය යුතුව තිබුණි. ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙලට පෙරහුරුවක් ලෙස මෙම තරඟාවලිය සාර්ථකව පැවැත්වීමට ජපාන ක්‍රීඩා බලධාරීහු සමත් වූහ. 

ලබන සතියේ ජපානයේ සංචාරයක නිරත වීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ප්‍රධානී තෝමස් බක් පවසා සිටියේ පවතින සෞඛ්‍ය සීමාවන් යටතේ වුවද ක්‍රීඩාව ආරක්ෂිතව සංවිධානය කළ හැකි බවට මෙය ආදර්ශයක් වන බවයි.

- පැතුම් විජේරත්න -