අයි.පී.එල්., සී.පී.එල්, බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියට එක්වූ අලුත්ම සන්නාමය වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය හම්බන්තොට, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26දා) ආරම්භ වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තරගාවලිය කළම්බු කිංස්, ගෝල්  ග්ලැඩියේටර්ස්, කැන්ඩි ටස්කර්ස්, දඹුල්ල වයිකිංග් හා ජැෆ්නා ස්ටැලියන්ස් ලෙස කණ්ඩායම් 05ක් අතර පැවැත්වේ. අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරග 23කින් සමන්විත
මෙම තරගාවලිය දෙසැම්බර් මස 16වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

තරගාවලිය ආරමීභවීමට ආසන්නව තිබියදී සහභාගිවන බව දන්වා සිටි ඇතැම් ක්‍රීඩකයන් සිය තීරණ වෙනස්කිරීමත් සමග සියලුම කණ්ඩායම්වලට සිය අවසන් සංචිත සකස්කර ගැනීම දුෂ්කර වුවත්, ජාත්‍යත්තර ක්‍රිකට් පිටියේ කැපීපෙනන දක්‍ෂතා දක්වා ඇති ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම මේ වනවිටත් කණ්ඩායම් සමගින් එක්ව සිටියි.

කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතව සිටි බ.ඉ. කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් ක්‍රීඩා නොකරන බව දන්වා සිටීමෙන් කණ්ඩායමට වූ පාඩුව පිරිමසාගත නොහැකි සාධකයක් වූවත්, ඔහු වෙනුවට සිම්බාබ්වේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක බෙන්ටන් ටේලර් කැඳවීමෙන් ගේල් නොමැති අඩුව ටස්කර්ස් කණ්ඩායමට යම් තරමකින් හෝ සම්පූර්ණ වනු ඇත.

ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේරා නායකත්වය දරන ටස්කර්ස් කණ්ඩායමට ඉන්දීය හිටපු තුන්ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන්ද ඇතුළත්ව සිටියි. මීට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් රැසක් සමගින් ඇෆ්ගනිස්තාන හා පාකිස්තාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ටස්කර්ස් ශක්තිමත්ව සිටියි.

ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමද පෙරළියක් ඇති කරනු ඇති කණ්ඩායමක් බවට මේ වනවිටත්  පත්වී අවසන්. ඔවුන් සතුව සිටි ප්‍රධාන බලාපොරොත්තුව වූ ලසිත් මාලිංග ඉවත් වූවත්, පාකිස්තානු සුපිරි ක්‍රීඩක ෂහීඩ් අෆ්රිඩි ග්ලැඩියේටර්ස් සමගින් එක්වීමත් සමග එම කණ්ඩායම වඩාත් ශක්තිමත්ව තරගාවලියට සූදානම්ව සිටියි.

පාකිස්තානයේ මොහොමඩ් අමීර් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුවක් වන අතර, කොදෙව් දේශයේ චද්වික් වෝල්ටන් ඇතුළු විදෙස් ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඔවුන් සතුව සිටිති. විශේෂයෙන් භානුක රාජපක්‍ෂ (උපනායක) මෙන්ම ප්‍රහාරාත්මක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ග්ලැඩියේටර්ස් නියෝජනය කිරීම අනෙකුත් කණ්ඩායම්වලට ප්‍රබල අභියෝගක් වනු ඇත.

එල්.පී.එල්. තරගාවලියේ විශාලම ප්‍රේක්‍ෂක ආකර්ෂණයක් දිනාගනු ඇතැයි අනුමාන කළ හැකි ජැෆ්නා ස්ටෑලියන්ස් කණ්ඩායමද විශේෂ අවධානයක් යොමු කළ යුතු කණ්ඩායමක් වෙයි. තිසර පෙරේරා නායකත්වය හොබවන ස්ටැලියන්ස් කණ්ඩායමේ ප්‍රධාන බලාපොරොත්තුවක් ලෙස පාකිස්තානයේ ෂොයිබ් මලික් හැඳින්විය හැකිය. ඊට අමතරව කොදෙව් ක්‍රීඩක ජෝන්සන් චාල්ස් සමගින් දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් දෙනෙකුද ඔවුන් සතුව සිටිති.

උතුරු පළාත නියෝජනය වන පරිදි නම් කර තිබෙන ජැෆ්නා ස්ටැලියන්ස් 'වාඩමචාන්' යන
අර්ථ නාමයෙන්ද හඳුන්වනු ලබයි. වනිඳු හසරංග, අවිෂ්ක ප්‍රනාන්දු ඇතුළු ජාත්‍යන්තර ක්‍රිකට් කතාබහක් ඇති කළ මෙරට ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම ස්ටැලියන්ස් සමන්විත වෙයි. ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යැවිය හැකි සෙබස්තියන්පිල්ලේ විජයරාජ් නැති නම් "කිලිනොච්චි එක්ස්ප්‍රස්” ඔවුන් සතුව සිටීම මෙවර තරගාවලියේ චමත්කාරයද වැඩි කරවනු ඇත.

දඹුල්ල වයිකිංග් කණ්ඩායමේ නායකත්වය නිල වශයෙන් ඊයේ (25දා) සවස් වනතුරුත් ප්‍රකාශ කර නොමැති වූවත්, බොහෝ දුරට දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ඇත. වයිකිංග් කණ්ඩායමේ අවසන් මොහොතේ විදෙස් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වෙනස් වූවත්, පෝල් ස්ටර්ලිං  (අයර්ලන්තය), සමිත් පටෙල් (එංගලන්තය) වැනි අත්දැකීම් ඇති විදෙස් ක්‍රීඩකයන් ඔවුන් සතුව සිටියි. නිරෝෂන් දික්වැල්ල, උපුල් තරංග වැනි ශ්‍රී ලංකාව නියෝජනය කළ අත්දැකීම් ඇති ක්‍රීඩකයන් සමග වයිකිංග් සෙසු කණ්ඩායම්වලට දැවැන්ත සටනක් දෙනු ඇත.

මෙරට ප්‍රේක්‍ෂකයන් අතර වැඩි උනන්දුවක් දක්වන කණ්ඩායමක් ලෙස කළම්බු කිංග්ස් සැලකිය හැකිය. ඒ, තරගාවලියට ක්‍රීඩා කරන ප්‍රධානම සුපීරි තරු ක්‍රීඩකයා වන කොදෙව් දේශයේ ප්‍රහාරාත්මක පිතිකරු අන්ද්‍රි රසල් ඔවුන් සතුවීමයි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ නායකත්වය යටතේ තරග වදින කළම්බු කිංග්ස් කණ්ඩායමට අයි.පී.එල්. තරගාවලි තුළ කැපීපෙනෙන දක්‍ෂතා දක්වා ඇති ඉන්දියාවේ මන්ප්‍රීට් ගෝනිද ඇතුළත්ව සිටියි. එමෙන්ම ඇෆ්ගනිස්තාන, පාකිස්තාන ක්‍රීඩකයන් කිහිපදෙනෙකුම ඔවුන් සතුව සිටින අතර, මෙවර අයි.පී.එල්. තරගාවලියේ එකම ශ්‍රී ලංකා නියෝජනය වූ ඉසුරු උදාන සමගින් දිනේෂ් චන්දිමාල් ඇතුළු ජ්‍යෙෂ්ඨ හා යොවුන් ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගෙන්ම සන්නද්ධව කළබු කිංග්ස් තරගාවලියට පිවිසෙනු ඇත.

මෙම තරගාවලියේ තරග විකාශන අයිතිය සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පී.ටී.වී. යන ජාත්‍යන්තර ක්‍රීඩා නාලිකා හිමිකරගෙන තිබෙන අතර, තරගාවලිය මෙරට විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ ස්වාධීන රූපවාහිනී සේවය (අයි.ටී.එන්.) වෙතය.

- සංජීව ධර්මසේන -