ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ තරග විකාශන අයිතිය සෝනි, ස්කයි ස්පෝට්ස් සහ පී.ටී.වී. යන ජාත්‍යන්තර ක්‍රීඩා නාලිකා හිමිකරගෙන තිබේ.

එමෙන්ම තරගාවලිය මෙරට විකාශය කිරීමේ අයිතිය හිමිව ඇත්තේ ස්වාධීන රූපවාහිනී ආයතනය (අයි.ටී.එන්.) වෙතය.

දකුණු ආසියාවේ බොහෝ රටවල මෙම තරගාවලිය සෝනි සමාගම විසින් විකාශය කරනු ලැබීමට නියමිත අතර, අතිවිශාල ක්‍රිකට්
ප්‍රේක්ෂකයන් පිරිසක් සිටින ඉන්දියාවේ තරගාවලි විකාශන අයිතිය හිමිකරගෙන සිටිනුයේද අදාළ සමාගමයි.

මේ අතර පී.ටී.වී. සමාගම තරගාවලිය පාකිස්තානයේ විකාශය කරන අතර, ස්කයි ස්පෝට්ස් එය එක්සත් රාජධානියේ විකාශය කරනු ඇත. මෙම තරගාවලියට පාකිස්තාන සහ එංගලන්ත ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ක්‍රීඩා කරන අතර, ඉන්දීය හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකු වන ඉර්ෆාන් පතන් සහ මුනාෆ් පටෙල් ද එල්.පී.එල්. කණ්ඩායම් විසින් මිලදීගනු ලැබ තිබේ.

එල්.පී.එල්. කණ්ඩායම් පහෙන් 02ක් ඉන්දීය හිමිකරුවන් වන අතර, ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පාකිස්තානු හිමිකාරිත්වය යටතේ ක්‍රියාත්මක වේ. මේ අතර ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් මිලදීගෙන ඇත්තේ එක්සත් රාජධානියේ හිමිකරුවෙකි. එල්.පී.එල්. තරගාවලිය මෙම මස26දා සිට දෙසැම්බර් මස 16දා දක්වා හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
 - පැතුම් ශ්‍රී විජේරත්න -