මාදම්පේ පම්බල ප්‍රදේශයේ පදිංචි මාළු ව්‍යාපාරිකයකුට කොරෝනා වයිරය ආසාදනය වි ඇතිබව 14 දා ලැබුණු පී.සී.ආර්. පරික්‍ෂණ වාර්තාවෙන් තහවුරු වී ඇතැයි මාදම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක කුලරත්න අතපත්තු මහතා පැවසිය.  මෙම මාළු ව්‍යාපාරිකයා දංකොටුව රෝහලේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යවා තිබෙන බවද
අතපත්තු මහතා කීය. ඔහුගේ පවුලේ අය ඇතුළු ආශ්‍රිතයින් 07 දෙනකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කළ බවද ඒ මහතා පැවැසීය. හලාවත මාළු වෙළඳපොළේ ව්‍යාපාරිකයෙකු වන මොහු හලාවත රෝහලට ගොස් ජී.සී.ආර්. පරික්ෂණයකට ලක්වී ඇති බවද එම වාර්තාව අනුව ඔහුට වයිරසය ආසාදනය වී ඇති බවද හෙතෙම කීය.


පී.සී.ආර්. වාර්තාව ලැබෙන තෙක් මාළු ව්‍යාපාරිකයා නිවසට වී සිට ඇති බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයා පවසයි.  මේ අතර හලාවත අලුත්වත්ත ප්‍රදේශයේ පදිංචි අයෙකුටද, කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ කියයි. රෝගී තත්වයක් හේතුවෙන් හලාවත පෞද්ගලික රෝහලකට ගිය අවස්ථාවේ මෙම පුද්ගලයා කොළඹ රෝහලකට ගෙනයන ලෙස උපදෙස් දී ඇති බව සෞඛ්‍ය අංශ කීය.  කොළඹ ප්‍රධාන පෙලේ රෝහලකට ගෙන ගිය අවස්ථාවේ  කරන ලද සී.ආර්. පරික්‍ෂණයේදී මොහුට කොරෝනා වයිරසය  ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -