ජිමිනාස්ටික් පුහුණුකරුවකු "කොරෝනා" ආසාදිතයකු යයි තහවුරු කර ගැනීමෙන් පසුව කොළඹ ටොරින්ටන් පෙදෙසේ පිහිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලැගුම ගන්නා ප්‍රධාන නේවාසිකාගාරය පෙරේදා (23) සිට හුදෙකලා කිරිමට ක්‍රීඩා අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.  මෙම පුහුණුකරුවා මෙම නේවාසිකාගාරයට නිතර ආගිය පුද්ගලයකු බැවින් මෙම සිදුවීමෙන් පසුව ඔහු ඇසුරු කළ බව පැවසෙන පුද්ගලයන් 15කට ආසන්න පිරිසක් ස්වයං නිරෝධායනය කිරිමට ද පියවර ගෙන තිබේ.
ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ සභාපති වෛද්‍ය ලාල් ඒකනායක මහතාගෙන්  කළ විමසුමකදී පැවසුවේ,


රෝගී පුහුණුකරුවා හෙළිකර ගැනීමෙන් පසුව නැවත දැනුම් දෙනතුරු  නේවාසිකාගාරයට පිටස්තරයන් ඇතුළුවීම තහනම් කර තිබෙන අතර, පිටවීමේදී දැඩි සීමාවන් පනවා තිබේ.  කෙසේ වුවත් මෙම සිදුවීමෙන් නේවාසිකාගාරයේ ගත කරන ක්‍රීඩක ක්‍රීඩිකාවගේ දෛනික පුහුණුවීම් කටයුතුවලට බාධාවක් නොමැති බවත්,  ඔවුන්ට දැඩි සෞඛ්‍ය නීතිරීති හා සීමාවන් යටතේ එම කටයුතු කරගෙන යාමට අවසරය ලබාදී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ක්‍රීඩා විද්‍යායතනය අහඹු ලෙස ලබාගත් පී.සී.ආර්. පරික්ෂණයකින් පුහුණුකරුවා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ. කොවිඩ් වසංගතය රට තුළ උද්ගතවීමෙන් පසුව ක්‍රීඩා වෛද්‍ය විද්‍යායතනය මේ දක්වා ක්‍රීඩක ක්‍රීඩිකාවන්, පුහුණුකරුවන් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍රයේ සබඳතා පවත්වන පුද්ගලයන් 250කට ආසන්න පිරිසකගෙන් පී.සී.ආර්. පරික්ණෂ ලබාගැනීමට කටයුතු කර තිබේ. එම පී.සී.ආර්. පරික්ෂණයන්ට අනුව හඳුනාගත් පළමු කොටිඩ් ආසාදිතයා මෙම පුහුණුකරු වන බව ද වාර්තා වේ.


 නාමල් පතිරගේ