COVID-19 වසංගතයේ දෙවැනි රැල්ල පාලනය කිරීම සඳහා රටවල් නැවත ලොක්ඩවුන් කිරීම පිස්සුවක් යැයි වසංගතය මැඩපැවැත්වීම සඳහා ලොක්ඩවුන් එකකට යෑම මුල සිටම විවේචනය කළ බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සනාරෝ පවසයි.

එක්සත් ජනපදය මෙන්ම, බොහෝ යුරෝපීය

රටවල් සහ ලතින් ඇමරිකාවේ සමහර කොටස් පසුගිය සති කිහිපය තුළ ඔවුන්ගේ ඉහළම දෛනික ආසාදන වාර්තා කරමින් පවතින පසුබිමක බොල්සනාරෝගේ මෙම අදහස් කරළියට පැමිණෙයි. එහිදී එක්සත් ජනපදය හැරුණු විට අනෙකුත් බොහෝ රජයන් නවතම ආසාදන රැල්ල පාලනය කිරීමට ලොක්ඩවුන් ඇතුළු දැඩි පියවර වෙත පිවිසෙමින් සිටීමද ඔහුගේ මෙම මතයට පූර්විකා සැපයීය.

නමුත් වසංගතය ආරම්භ වූදා සිට, බ්‍රසීල ජනපති බොල්සනාරෝගේ නව කොරෝනා වෛරස ප්‍රතිපත්තිය යළි යළිත් ප්‍රතිරාව නැංවූයේ එක්සත්පද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමපාත වූ මතයකිනි. ඔවුන් දෙදෙනාම කියා සිටියේ රට ලොක්ඩවුන් කිරීම රටේ ආර්ථිකයට බලපාන බැවින් දැඩි අගුලු දැමීමේ සීමාවන් කිසිසේත්ම ක්‍රියාත්මක නොකරන බවය. 

රටේ නායකයා කවරක් කීවද මේ වනවිට බ්‍රසීලය ලොව තෙවැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රාජ්‍ය ලෙස සමස්ත COVID-19  ආසාදිතයන් 5,500,000ක් ඉක්මවා වාර්තා කරන අතර, ලොව දෙවැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා කරන රාජ්‍ය ලෙස එ් ආශ්‍රිත මරණ 160,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා කරයි. එසේම බොල්සනාරෝ මෙන්ම ජනාධිපති ආර්යාවද වරක් වෛරසයට ගොදුරු වූ අතර, ඒ අවස්ථාවේදීද ඔහු ට්‍රම්ප් මෙන්ම වගකීමෙන් තොර හැසිරීම් පෙන්නුම් කළේය.

- නරේන් විශ්වජිත් -