කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් බලපෑමට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට දී තිබූ ණය සහන කාලය ඔක්තෝබර් මස 1 වැනි දා සිට තවත් මාස හයකට දිර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන ඇත.

නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ල හේතුවෙන් උද්ගත වූ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා මහ බැංකුව එම පියවර ගෙන තිබේ.

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම්වලට චක්‍රලේඛයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව ඒ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතාගේ අත්සනින් යුතුව 2020 නොවැම්බර් 9 දින අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.


එම චක්‍රලේඛයට අනුව ණය සහන කාලය සඳහා ඉල්ලුම් කළ යුතු අවසාන දිනය මේ මස 25 වැනිදා වන අතර ලිඛිතව, මුද්‍රණය කර, ඊමේල් (විද්‍යුත් පණිවුඩයකින් හෝ එස්.එම්.එස්. පණිවුඩයකින් / කෙටි පණිවුඩයකින්) හෝ ඒ බව අදාළ බැංකුව හෝ මූල්‍යම ආයතනවලට දැනුම් දිය හැකිය. ඒ සඳහා ඉල්ලුම් කරන ආකාරය අදාළ බැංකුව හෝ මූල්‍ය ආයතනය සමඟ සාකච්ඡා කළ හැකි බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊට අදාළ සරල ආකෘති පත්‍රයක් ගනුදෙනුකරුවන්ට ලබාදෙන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දී ඇත. මෙම සහන කාලයට අදාළව ගණනය කෙරෙත පොලී මුදලක් ගෙවිය යුතු වන අතර ඒ සියල්ල ශ්‍රී ලංකා බැංකුව නිකුත් කර තිබෙන 2020 අංක 11 දරන මෙම නව චක්‍රලේඛයට යටත් වේ.

ඒ අදාළ ගෙවීම හා අය කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝගවලට යටත්ව ගනුදෙනුකරුවන්ගේ සහ බැංකු හෝ අදාළ මූල්‍ය ආයතනයේ එකඟතාව පරිදි ක්‍රියාත්මක කළ යුතු වේ.

ඊට අමතරව මාස 12ක් හෝ මාස 24ක් කාලයක් තුළ අදාළ පොලී මුදල ගෙවිය යුතු වන අතර එය ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ චක්‍රලේඛයේ නියම කර තිබෙන පොලී අනුපාත හා කොන්දේසිවලට යටත් විය යුතුය.

(හර්ෂණ තුෂාර සිල්වා)