ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ මහාචාර්ය නීලිකා මලවිගේ කියා සිටියේ කොරෝනා රෝගයට ගොදුරු වූවන් සමාජයෙන් කොන්කිරිම හෝ සමාජ අවමානයට භාජනය කිරීම නොකළ යුතු බවයි. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ මානව ප්‍රතිශක්තිකරණ ඒකකයේ වෙද්‍ය පරේෂණ මණ්ඩලයේ අධ්‍යයන කටයුතුවලට බාහිර වශයෙන් සම්බන්ධ වන්නා වූත් අන්තර්ජාතික බෝවන රෝග සංගමයේ විධායක කමිටුවේ සාමාජිකාවක වූත් මහාචාර්ය මලවිගේ, දිවයින පුරාම ලොක්ඩවුන් කිරීමක් සිදුනොකළ යුතු බව කියා සිටි අතර ඒ මගින් විනාශකාරි සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක විඳින්නට සිදුවන බව ද පැවසුවාය.

කෙසේ වුවද ඇගේ මතය වූයේ රෝගය ඉහළ මට්ටමින් පැතිර යන ප්‍රදේශ හා බොහෝම රෝගීන් ඉන්නා ඇතැම් ප්‍රදේශ  හුදෙකලා කොට තාවකාලිකාව ලොක් ඩවුන් කළ යුතුබවයි. මෙසේ කළ යුත්තේ වයිරසය වේගයෙන් බෝවීම වළක්වා, වයස්ගත පුද්ගලයන් ද දියවැඩියාව, පිළිකා සහ  හෘදයාබාධ ඇති අය ද මරණයට ගොදුරු වීම වැළැක්වීමේ අරමුණෙනි. රෝග ලක්ෂණ පළකරන රටපුරා ඉන්නා සියලු රෝගීන් පරික්ෂාවට ලක්කිරීම වැදගත් බව ද කියා සිටි ඇය ඒ මගින්  රෝගය පැතිර යාමේ ඉහළ අවදානම ඇති පිරිස් කල්තියා හඳුනාගත හැකි බව ද පැවසුවාය.
ඉහළම සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරියක වූ ඇය තවදුරටත් කියා සිටියේ හැකි ඉක්මනින් සාමාන්‍ය ජීවිතයට ආපසු යායුතු බව සහ රටක් ලෙස එකමුතු වී මාරාන්තික වයිසරයට එරෙහිව සටන් කළ යුතු බවත්ය.මේ ඇය සමග කළ සාකච්ඡාවකි.


 ප්‍රශ්නය:- ඔබේ නවතම සොයා ගැනීම්වලින් පෙන්නුම් කරනු ලැබුවේ කොරෝනා වැළදි සුවය ලැබූ රෝගියකුගෙන් දින හතක් ඉක්ම ගිය පසුව අනෙක් අයට එම රෝගය බෝවීම් හැකියාවක් නොමැති බවයි. කරුණාකර ඒ පිළිබඳව විස්තර කළ හැකි ද?


පිළිතුර:- මේ අපේ සොයා ගැනීමක් නොවෙයි. ලෝකයේ පර්යේෂණ සිදුකළ බොහෝ කණ්ඩායම් මේ ගැන ගවේෂණය කළා. ඒවායින් පෙනී ගියේ වයිසරය රෝගියකුගේ ඛේටයේ හා සෙමවල දීර්ඝ කාලයක් තිබුණ ද, දවස් හතකට පසුව රෝගය බෝවන වයිරසය  නොමැති වන බවයි. දින දහයකට පසු ස්ථිර වශයෙන්ම ඒ අයගෙන් රෝගය බෝ නොවන බව කිව හැකියි.


මෙය සත්‍ය වන්නේ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන අය සම්බන්ධයෙන් හා මඳ රෝග ලක්ෂණ පෙන්නුම් කළ අය සම්බන්ධයෙන් පමණයි. රෝගී බව දැඩි ලෙස වර්ධනය වූ අයගෙන් සහ කොරෝනා සංකූලතා හේතු කොටගෙන දුර්වල ප්‍රතිශක්තිකරණ හැකියාව ප්‍රදර්ශනය කළ අයගෙන් ඊට වඩා දිගු කාලයක් හෝ දින දහයක් ඉක්මවා ගිය කාලයක් වයිරසය බෝවිය හැකි බව පෙනී ගියා. රෝගීන් රෝහලෙන් නිවෙස් කරා පිටත්කර හරින්නට කලින් ඒ අයව PCR පරික්ෂණවලට හා ප්‍රතිදේහ පරික්ෂණවලට භාජනය කරනු ලබනවා. කෙතෙක් කාලයක් මිනිසුන් වෙතින් රෝගය බෝවිය හැකි ද යන්න පිළිබඳ මාර්ගෝපදේශ ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග මර්ධන මධ්‍යස්ථාන (CDC) වැනි ලොව ප්‍රමුඛ අධිකාරි ආයතන වලින් නිකුත් කරනු ලබනවා.


ප්‍රශ්නය:- එයින් අදහස් වන්නේ කොරෝනා රෝගය වැළදී සුවය ලැබූ පුද්ගලයකු සමග දින හතකට පසුව සමාජයේ අනෙක් උදවියට ගැවැසිය හැකිය යන්න සහ ඒ සම්බන්ධයෙන් බිය වීමට කාරණයක් නැත යන්න ද


පිළිතුර:- අපගේ සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශවල කියන පරිදි කොරෝනා වැළදුණු රෝගියකු මුදා හරින්නේ දින 14 ක නිරෝධායන කාල සීමාවක් ඔහුව රඳවා තබා ගැනීමෙන් පසුවයි. රෝගීන්ගෙන් දින දහයකට පසුව රෝගය බෝ නොවන බව අධ්‍යයන වලින් පෙනී ගියත් ඒ පිළිබඳව දැඩි ලෙස පරික්ෂකාරි විය යුතුයි. ඔවුන් අපකීර්තියට භාජනයට නොකළ යුතුයි. අවමන් කිරීම වැළැක්වීම ඉතා වැදගත්. යම් කෙනකුට කොරෝනා වැළඳෙන්නේ ඔහුගේ වරදකින් නොවෙයි. අප හැමදෙනාටම සාමාන්‍ය  සෙම්ප්‍රතිශතාව බොහෝවර වැළඳී තිබෙනවා. අපට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව වැළඳෙන්නේ අපේ වරදක් නිසා ද? අපකීර්තියට හෝ අවමානයට ලක් කිරීම  අතිශය භයානක වෙනවා. ඒ නිසා රෝග ලක්ෂණ පවතින පුද්ගලයකු ඉදිරිපත් වී පරික්ෂා කරවා ගැනීම වළකිනවා. දරුණු ලෙස රෝගය වර්ධනය වන අය රෝහල්වල ප්‍රතිකාර ලබා ගැනීමට ඉදිරිපත් වීම ඒමගින් වැළකෙනවා. ඒ සියල්ලටත් වඩා ඒ මගින් දැඩි මානසික කම්පනයක් ඇති කෙරෙනවා. අප අනෙක් උදවිය ගැන සැලකීමක් ඇති ජාතියක් හැටියටයි ප්‍රසිද්ධ වී සිටින්නේ. මේ අනෙක් අය වෙත ඇති සැලකීම ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවයි.


 ප්‍රශ්නය:- ඔය කියන දේ සැබෑ නම් කොරෝනා වැළඳී සුවය ලැබූ ඇතැම් අයට නැවත රෝගය බෝ වෙන්නේ කෙසේ ද? එය දුර්ලභ අවස්ථාවක් ද?


පිළිතුර- අවාසනාවකට වගේ එසේ සිදුවෙනවා.  මුලින්ම වයිසරය ශරිර ගත වී මාස 3 - 4 ක් ඉක්ම ගිය පසු සමහර පුද්ගලයන්ට නැවත රෝගය වැළඳෙන බව පෙනී යනවා. ඒත් ඒ බොහෝ අයට නොවෙයි. නැවත  රෝගය වැළඳීම කෙතරම් තීව්‍රතාවකින් සිදුවන්නේ ද එය රෝග පාලනය කිරීම කෙරේ කෙතරම් බලපාන්නේ ද යන්න අප දන්නේ නැ.


ප්‍රශ්නය:- විවිධ පොකුරු ගැන අපට කියනවා. මිනුවන්ගොඩ පොකුර, පෑලියගොඩ පොකුර ආදී වශයෙන්. මෙම පොකුරු හඳුනා ගන්නේ වයිරස වර්ගය ගැන  විද්‍යාත්මක දැනුමකින්ද නැතහොත් පුද්ගලයාගෙන් පුද්ගලයාට සිදුවන ශාරිරික ස්පර්ශයන් පදනම් කරගෙන ද?


පිළිතුර:- වයිරසය කෙතරම් දුරදිග ගියත් මේ හැම පොකුරකම ඇත්තේ එකම වයිරසයයි. අපේ රසායනාගාරවල මෙම විවිධ පොකුරවල වයිරස අනුපිළිවෙළින් සකසනවා. ඒවායින් පෙනී යන්නේ සියලු බෝවීම් වලට හේතු වී ඇත්තේ එකම වර්ගයේ වයිරස බවයි. මේ වනවිට අප තවදුරටත් අනුපිළිවෙළින් සැකසීම සිදුකරනවා. වයිරසයේ පරිණාමය හා වයිරස වර්ගය පිළිබඳ හැදෑරිම් වලට එය වැදගත් වන නිසයි එසේ කරනුයේ. කෙසේ වුව ද එවැනි අධ්‍යයන ප්‍රයෝජනවත් වන්නේ එය  පැතිරිම හා බෝවීමේ මූලාශ්‍ර පිළිබඳ තීරණ ගැනීමට පමණයි. එම දත්ත බෝවන රෝග විශේෂඥයන්ට වැදගත් වෙනවා. ජනතාවට වැදගත් වෙන්නේ කොරෝනා බෝකරනු ලබන්නේ එකම වයිසරයක්ය යන කාරණයත්, මෙකී විවිධ වර්ග වලින් ඇති කරනු ලබන රෝගයේ දරුණු ගතිය වෙනස් නොවන බවත් පමණයි. කෙසේ වුව ද දැනට පැතිරෙමින් තිබෙන වර්ගය සතුව පැතිරීම වේගවත් කරන විශේෂිත විපරිත රුපයක් පවතිනවා. වේගයෙන් පැතිරයාමත් සමග සියයට 97 කට පමණ සම්බන්ධ වන්නේ මෙකී විපරිත රුපයයි. මුළු ලෝකයේ පැතිර යන්නේත් එම විපරිත රුපයමයි. එය අලුත් දෙයක් නොවෙයි.


ප්‍රශ්නය:- බංග්ලාදේශය වැනි වර්ධනය වෙමින් පවතින රටවල ඒවායේ එදිනෙදා කටයුතු නොකඩවා පවත්වාගෙන යනවා. වයිරසය එරට පැතිරි ගිය සාර්ථකව වයිරසය හා සටන්වදින බවත් කියනු ලබනවා. ඒ හා සමාන සමාජීය, දේශපාලන හා ආර්ථික පසුබිමක් ඇති ශ්‍රී ලංකාවට එය හොඳ නිදර්ශනයක් වේද?


පිළිතුර:- රට පුරා ලොක් ඩවුන්  කිරීමක් සදහා අප යොමුවිය යුත යයි මා නොසිතන්නේ ඒමගින් හානිකර සමාජ හා ආර්ථිකයට ප්‍රතිවිපාක ඇතිවිය හැකි නිසයි. වයිරසය අප සමග බොහෝ කලක් රැඳී පවතීවි. ඒ සඳහා එන්නතක් අනාගතයේ පේන තෙක් මානයක නැහැ. කෙසේ වුවද වේගයෙන් රෝගය පැතිරෙන ඇතැම් ප්‍රදේශ සහ රෝගය වැඩි ඇතැම් ප්‍රදේශ හුදෙකලා කිරීම වැදගත්. ඒ මගින්  රෝගය රටේ අනෙක් ප්‍රදේශවලට පැතිරීම වළක්වාලිය හැකියි. රෝග ලක්ෂණ පෙන්නුම් කරන රටේ සියලු රෝගීන් පරික්ෂාවට ලක් කිරීම වැදගත්. ඒ සමග  එවැනි ලක්ෂණ පෙන්නුම් කරන වැඩි අවදානමක් ඇති කණ්ඩායම් කල් තියා හඳුනා ගැනීම වැදගත් වෙන්නේ  බෝවීමක් වෙතොත් එය වළක්වාගත හැකි නිසයි.  කෙසේ වුවද ලොක් ඩවුන් කිරීම් නිශ්චිත ප්‍රදේශවල  කෙටි කාලයකට පමණක් තාවකාලිකව පැනවීම අවශ්‍ය විය හැකියි. සෞඛ්‍ය පද්ධතියට පමණ ඉක්මවා බර  වැටුණොත් එයින් වැඩිවන රෝගී පිරිස පාලනය කර  ගත හැකි වෙනවා. අප හැකි ඉක්මනින් සාමාන්‍ය ජන ජීවිතයට ආපසු යා යුතුයි. එය කළ යුත්තේ ආරක්ෂාකාරී රටාවක් තුළ. එහෙත් යම් කලක් යනතුරු කටයුතු සියයට 100ක් සාමාන්‍ය අයුරින් සිදු නොවන බවත් අප  වටහාගත යුතුයි.


ප්‍රශ්නය- ඔබ නායකත්වය දෙන කණ්ඩායම් සොයා ගැනීම් වලට අනුව පෙනී යන්නේ මේ වනවිට විවිධ ප්‍රදේශවල පැතිර යන වයිරස වර්ගය B.I 42 පරම්පරාවට අයත් ඒවා බවයි. ඒවා පොදු සම්භවයකට අයත් ඒවා බවත් පෙනෙනවා. මෙම වර්ගය මෙරටට පිටතින් පැමිණි වර්ගයක්ද නැතහොත් කලින් ශ්‍රී ලංකාවේ පැතිරුණ වර්ගයේ එනම් B 1, B.2,B1.1, B.4 පරම්පරාවේ වයිරසයේ වර්ධිත අවස්ථාවක්ද?



පිළිතුර: මා කලින් කීවාක් මෙන් වයිරස වර්ගයට අදාළ දත්ත වැදගත් වයිරසය පැතිරිමට අදාළ වසංගත  රෝග විද්‍යා අධ්‍යයනවලටයි. අප එම වයිරස පරම්පරා B1 ආදී වශයෙන් වූ ඒවා බව හඳුන්වනවා. දැනට පවතින වරAගය වෙන කොහෙKA හෝ ආ එකක් විය හැකියි. කෙසේ වුවද ඒඅතරම දේශීය වශයෙන් පවතින වරAගයට, විපරිතකරණයට භාජනය වී තවත් තැනක පවතින වර්ගයක ලක්ෂණ අත්පත් කර ගැනීමේ හැකියාව තිබෙනවා. එම නිසා මෙහි කලින් තිබූ හා දැන් පවතින වයිරස වර්ගය කෙරේ හෝ පරම්පරාව  ගැන පමණට වඩා අවධානය යොමු කිරීම කළ යුතු යැයි මා සිතන්නේ නෑ. වයිරස පරම්පරාව සහ ඒවායේ පරිණාමය පිළිබඳව තොරතුරු වයිරස දත්ත මුලාශ්‍රවල දෛනික පදනම මත යාවත්කාලීන කරනු ලබනවා.


ප්‍රශ්නය- මෙම අලුත් වයිරස වර්ග ඉතා දරුණු ලෙස රෝගය පැතිර ගිය ඉතාලිය, ඇමරිකාව, චීනය වැනි රටවල මුලින් තිබූ වර්ගයට සමානද?



පිළිතුර- මේ රටවල සියලුම වර්ග වෙනස්වීම් වලට ලක් වුණා. එම නිසා මෙම කිසිම රටක එකම ආකාරයට වසංගතය ආරම්භයේ පටන්ම තිබුණේ නෑ.


ප්‍රශ්නය-  නරකම වර්ගයේ වයිරස ලෝකයේ අනෙකුත් ප‍්‍රදේශවල පැතිර යමින් තිබෙනවාද, එසේ නම් ඒවා ශ්‍රී ලංකාව කරා පැතිරීම් අන්තරායක් පවතිනවාද?



පිළිතුර: කලින් කී පරිදි පවතින්නේ එකම SARS-COV 2 වයිරසය පමණයි. කොරෝනා බෝ කරන්නේ එයයි. එක් වයිරස වර්ගයක් අනෙකට වඩා අනතුරුදායක බවට සාක්ෂි නෑ. කෙසේ වුවද D614G විපරිත රූපය දැනට අපගේ වයිරස වර්ග වලත් වෙනත් රටවල වර්ගවලත් පවතිනවා. එය වේගයෙන් පැතිර යාමේ හැකියාව පවතින්නක්. එම නිසා අප පූර්ව ආරක්ෂාව සලසා ගන්නත් සමාජ පුද්ගල දුරස්ථභාවය තබා ගත්තත් අමතර සැලකිල්ලක් යොමු කිරීම වැදගත්.


ප්‍රශ්නය: රට නැවත විවෘත කළ පසු ජනතාවට සංචරණය වන්නට ඉඩදිය යුතුයි කියා ඔබ සිතනවාද? ඔබේ අදහසේ හැටියට ජනතාව කිනම් විධීයේ පූර්ව ආරක්ෂාවක් සලසා ගත යුතුද?


පිළිතුර- මා එසේ සිතනවා. ඉහළ අවදානමක් පවතින ප්‍රදේශ හුදෙකලා කර තිබෙනවා. අප පරෙස්සම් සහගතයි යන්න ඉන් අදහස් වන්නේ නෑ. ප්‍රමාණවත් ලෙස හා සහේතුක ලෙස පරික්ෂාවක් සිදු කිරිම  අනිවාර්යයෙන් කළ යුතුයි. ඒ මගින් අලුත් රෝගීන් සහ අලුතෙන් පැතිර යන ස්ථාන හඳුනාගත හැකියි.


ප්‍රශ්නය: සමහරුන්ගේ අදහස වන්නේ කොරෝනා  සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් නිර්මාණය වී තිබෙන බවයි. එය නිවැරැදි ස්ථාවරයක්ද?


පිළිතුර-  අනවශ්‍ය බියක් ගැන මා දන්නේ නෑ. එයින් වැඩක් නැහැ. වැදගත් වන්නේ මරණයට පත්වීමේ හා ජනතාවට රෝගයට ගොදුරු වීමේ ඉහළ අවදානමක් පවතින බව තේරුම් ගැනීමයි. උදාහරණයකට දියවැඩියාව, පිළිකා හා හෘදයාබාධ ඇති වයස්ගත පුද්ගලයන්ට මෙම අවදානම තිබෙනවා. වැඩිහිටි තරුණයන් අතර වෙහෙසට පත්වීම අවධානය අඩුකම ශරිර ශක්තිය අඩුකම කොරෝනා වැළඳුණු අය ආශ්‍රයෙන් එය වැළඳීම මාස ගණනක් යනතුරු පැවතීම, යන සංකූලතා දක්නට ලැබෙනවා. එම නිසා රෝගය පැතිරීම අවම කිරීම හැකි සෑම අයුරින්ම අප තහවුරු කරගත යුතුයි.


 ප්‍රශ්නය අපගේ ජනතාව වෙත ගෙන යන්නට ඔබට තවත් මොනයම් හෝ පණිවිඩයක් තිබේද?

පිළිතුර: මිනිසුන් ලෙස අනෙකාට උපරිම ගෞරවය හා සැලකිල්ල දක්වමින් අප ජීවත් විය යුතුයි. කොරෝනා වැළදුණු රෝගීන් අවමානයට භාජනය කිරිම හෝ ඔවුන්ගේ සිත් රිදෙන අයුරින් කිසිවක් පැවසීම නොකළ යුතුයි. කරුණාකර එකිනෙකාට දෝෂාරෝපණය කිරීමෙන් වළකින්න. සමහරු රජයේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ හා සන්නද්ධ හමුදාවල දෝෂ සොයන්නට උත්සාහ දරනවා. ඉහත කී සියල්ලන් තමන්ගේ උපරිම හැකියාව යොදා  මෙම අසීරු අවස්ථාවෙන් ගොඩ එක්නට උත්සාහ කරන අය. තමන්ටත් අනුන්ටත් සැමදේ හොඳින් සිදුවෙන්නට තව කළ හැක්කේ මොනවාද යන්න ගැන ඔබ සොයා බැලිය යුතුයි. අපි එක්ව සටන් කරමු.

සාකච්ඡාව - සුසිත ප්‍රනාන්දු