නව කොරෝනා හෙවත් COVID-19 වෛරසය වළකන එන්නත් බිලියන 2ක් ලබන වසරේදී ලොව දියුණු වෙමින් පවතින රටවලට ලබාදීමට එක්සත් ජාතීන්ගේ ළමා ආයතනය වන යුනිසෙෆ් සංවිධානය සැලසුම් කර ඇතැයි පවසයි. ඒ අනුව මෙය අති දැවැන්ත මෙහෙයුමක් ලෙස දැනටමත් නම් කෙරී ඇත.
යුනිසෙෆ් සංවිධානය පවසන ආකාරයට ඔවුන් මෙම එන්නත් සහ ඊට අදාළ සිරින්ජර බිලියනයක් දුප්පත් රටවලට බෙදාහැරීම සඳහා දැනටමත් ගුවන් යානා සමාගම් සහ භාණ්ඩ ප්‍රවාහන සමාගම් 350ක් සමගින් එකඟතාවකට පැමිණීමට කටයුතු කරමින් සිටියි. ඒ අනුව උදාහරණ ලෙස බුරුන්ඩි, ඇෆ්ගනිස්තානය සහ යේමනය මෙම එනත් බෙදාහැරීම සඳහා තෝරගෙන ඇති රාජ්‍යයන් කිහිපයකි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන යුනිසෙෆ් සංවිධානයේ සැපයුම් ඒකකයේ අධ්යක්ෂ එටියේවා කාඩිලි, "මෙම මාහැඟි සහයෝගිතාව හරහා මෙම ඓතිහාසික සහ දැවැන්ත මෙහෙයුම වෙත අවශ්‍ය ප්‍රමාණවත් ප්‍රවාහන ධාරිතාව ලබා ගැනීමට හැකියාව ලැබේවි." යනුවෙන් පවසා සිටියි.
විශේෂයෙන්ම COVID-19 වළකන එන්නතක් තමන් වෙත ලබා ගැනීම සඳහා දුප්පත් රටවල් අධෛර්යමත් කරවීම වැළැක්වීම මෙහි අරමුණ වී තිබේ. එසේම සෑම රටකම වඩා වැඩි අවදානමක් පවතින පිරිස් වෙත මෙම එන්නත ලබා දීම මූලික අවදානම ලෙස ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
මෙම එන්නත ලොව සෑම අස්සක් මුල්ලක් නෑරම සාධාරණ වූ බෙදාහැරීමක් සුරක්ෂිත කිරීම සඳහා ලෝක නායකයන් සිදු කර ඇති එකඟතාව අනුව මෙම කටයුතු සිදු වන බව පැවසෙයි. මෙහිදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක ගෝලීය COVID-19 එන්නත් වැඩසටහන යටතේ නිපදවෙන COVAXඑන්නත මෙහිදී බෙදාහැරීමට නියමිතව ඇත. GAVIනම් එන්නත් නිෂ්පාදන සමාගම් සමූහයක් මෙහි නිෂ්පාදකයා ලෙස කටයුතු කරයි.
මේ අතර,පසුගිය සති අන්තයේදී පැවැත්වුණු ලෝක ආර්ථික බලවතුන්ගෙන් සැදුම් ලත් G20 සමුළුවේදී අදහස් දැක් වූ එහි රාජ්‍ය නායකයන් මෙම COVID-19 වළකන එන්නත්, ඖෂධ සහ පරික්ෂණ ලොව පුරා සමාන ලෙස බෙදාහැරීමටත්, එහිදී කිසිඳු දුප්පත් රටක් මඟනොහැරීමටත් එකඟතාව පළ කර තිබේ.
0 Comments