මුඛ සේදුම් දියර භාවිතයෙන් ඛේටයේ ඇති කොරෝනා වෛරස මරණයට පත්වන බවට පසුගිය දින කිහිපයේදී පළවූ වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකිරීමට සෞඛ්‍ය විශේෂඥයන් ඊයේ (18දා) කටයුතු යොදා තිබුණි. මෙම වාර්තාවට අනුව එම අධ්‍යයනය සිදුකළ පිරිස් පවසා තිබුණේ රෝහල්ගතව ප්‍රතිකාර ලබන CVOID-19 ආසාදිතයන්ගේ මුඛයේ රැඳෙන වෛරස අංශු යම් ප්‍රමාණයකින් අවම කිරීමේ හැකියාවක් මෙම මුඛ සේදුම් දියර සතුව පවතින බවකි.



කෙසේ වෙතත් මුඛ සේදුම් දියර භාවිතය කිසි ලෙසකින්වත් කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා පිළියමක් නොවන බව වෛද්‍යවරුන් පවසයි. එහිදී සිදුවන්නේ වෛරසය මරා දැමීමක් පමණක් වන බවත්, තවත් මෙවැනි දියර වර්ග කිහිපයක් හරහාම වෛරසය මැරී යන බවත් ඔවුන් පෙන්වා දෙයි. ඒ අනුව මෙහිදී කිසි ලෙසකින්වත් වෛරසයේ ප්‍රභවය නැවැත්වීමක් සිදුනොවන බව ඔවුන් පවසයි.

මේ සම්බන්ධයෙන් සීඑන්ඒන් පුවත් සේවය වෙත අදහස් දක්වන පිටිස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය  පාසලේ බෝවන රෝග පිළිබඳ අධ්‍යයන අංශයේ සහකාර  මහාචාර්ය ආචාර්ය ග්‍රැහැම් ස්නයිඩර්, "ඇල්කොහොල්, හයිඩ්‍රජන් පෙරොක්සයිඩ්, ක්ලෝරො ෙහක්සිඩයින් වැනි තවත් වර්ග කිහිපයක් හරහාම මේ වෛරසය තැවරුණු තැන්වල ඇති වෛරසය ඉක්මනින්ම විනාශ කරනවා. එහෙත් මේවා භාවිතය මගින් වෛරස සම්ප්‍රේෂණය වීම  හෝ වෛරසයට ගොදුරුවීම අඩුකරවන බවට කිසිදු හෙළිදරව්වක් සිදුව නැහැ.” යනුවෙන් පවසයි. ඒ අනුව මුඛ සේදුම් දියර මගින් සිදු කරන්නේ යම් පුද්ගලයෙකුගේ මුඛයේ ඇති බැක්ටීරියා හෝ වෛරස යම් කාලසීමාවකට අඩු කරවීමක් බවත්, එය මුඛය විෂබීජහරණය කිරීමක් නොවන බවත් සෞඛ්‍ය විශේෂඥයන් පවසා සිටියි.