බස් ගාස්තු වැඩි වුව ද මගීන් නොමැතිකම නිසා දකුණු පළාතේ ඇති පෞද්ගලික බස්රථවලින් ධාවනය වූයේ සියයට 20ත් 30ත් අතර බස්රථ සංඛ්‍යවක් බැව් දකුණු පළාත් පෞද්ගලික බස්රථ සමාගම් සම්මේලනයේ අධ්‍යක්‍ෂ ඩී.එස්. එස්. ගුණවර්ධන මහතා පැවැසීය.
 

බස්රථවල ආසන ගණනටවත් මගීන් නොමැති බව ද හෙතෙම පවසයි.

පෙරේදා (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු වැඩි කොට ඇති බවත් ඒ පිළිබඳ තවමත් පෞද්ගලික බස්රථ ධාවකයන්ට හරිහැටි සන්නිවේදනය වී නොමැති බව ද පෞද්ගලික බස්රථ සමාගම් සම්මේලනයේ අධ්‍යක්‍ෂවරයා පවසයි.

වැඩි කරනු ලැබූ 1.2 බස් ගාස්තුව බස් කර්මාන්තය කරගෙන යාම සඳහා ප්‍රමාණවත් බව ද හෙතෙම පවසයි.

මේ පිළිබඳ අදහස් දක්වමින් පෞද්ගලික බස්රථ සමාගම් සම්මේලනයේ අධ්‍යක්‍ෂ ඩී.එස්.එස්. ගුණවර්ධන මහතා මෙසේ ද කීය.

“කොරෝනා වසංගතයත් සමඟ කාර්යාල සේවකයන් තමයි වැඩිපුර පොදු ප්‍රවාහන පහසුකම් භාවිත කළේ. නමුත් දැන් කාර්යාල සේවකයන් කැඳවන්නේ සියයට 50යි. ආසන ගණනටත් බරථවල මගීන් නැහැ. මගීන් නොමැතිකම නිසා දහවල් ගමන් වාර ධාවනය වන්නෙත් නැහැ. වැඩි කරපු බස් ගාස්තුව ප්‍රමාණවත්. දකුණු පළාත්තේ පෞද්ගලික බස්රථ 3,500ක් විතර තියෙනවා. කෙසේ වුව ද මේ වනවිට අතුරු මාර්ගවල පෞද්ගලික බස්රථ ධාවනය වන්නේ නෑ.

දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් රාජා කුමාර මහතාගෙන් අප කළ විමසුමකදී මෙසේ කීවේය.

“බස් ගාස්තු සංශෝධනය පිළිබඳ තවම හරි හැටි පෞද්ගලික බස්රථ ධාවකයන් අතරට සන්නිවේදනය වෙලා නැහැ. දකුණු පළාතේ බස් නැවැතුම්පොළවල් 42 සඳහා අදාළ බස් ගාස්තු සංශෝධන පිළිබඳ තොරතුරු අද උදෑසන ලබාදුන්නා. තව දින දෙක තුනක් යනවිට ධාවනය වන පෞද්ගලික බස්රථ සංඛ්‍යාව වැඩි වේවි."

( ජේ.කේ.එල්. චාමින්ද)