කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේ නිරෝධායනයට ලක්කර සිටි පුද්ගලයකු කොරෝනා වැළඳීමෙන් මියගිය මාමණ්ඩියගේ මරණ පරික්ෂණ වාර්තාව රැගෙන ඒමට පොලොන්නරුව වැලිකන්ද රෝහලට යාමට පොදු ප්‍රවාහන බස් රථයකින් ගමන් කරමින් සිටියදී දඹුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා සහ පොලිසිය එක්ව ඔහු බස් රථයෙන් බස්සවා දඹුල්ල මූලික රෝහලේ කොරෝනා වාට්ටුවට ඊයේ (18) පස්වරුවේ ඇතුළත් කර ඇත. මෙම පුද්ගලයා බස් රථයෙන් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ රියැදුරු සහ  කොන්දොස්තරවරයා
බස් රථය දඹුල්ල රෝහල ආසන්නයේ නවතා මේ බව දැනුම්දී ඇතැයි දඹුල්ල රෝහලේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එම්. රණතුංග මහතා පැවසීය.

මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයාගේ පවුලේ කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත්, මෙම පුද්ගලයාගේ මාමණ්ඩිය වැලිකන්ද රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී වයිරසය ආසාදනය වී මියගොස් ආදාහන  කටයුතු සිදුකර ඇති බවත් සෞඛ්‍ය අංශ  කියයි.  මියගිය තැනැත්තාගේ බිරිය ද කොරෝනා ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇතැයි පැවසේ. මරණ පරික්ෂණය පිළිබඳව සැකයක් පවතින බැවින් මියගිය පුද්ගලයාගේ මරණ පරික්ෂණ වාර්තාව සහ පී.සී.ආර්. පරික්ෂණ වාර්තාව රැගෙන එන්නැයි විදේශගතව සිටින ඥාතියකු දුන් උපදෙස් මත මෙම පුද්ගලයා කොළඹ සිට අනුරාධපුර බලා ධාවනය වන ලංගම බස් රථයකට ගොඩවී දඹුලෙන් බැස පොලොන්නරුවට ගමන් කිරීම සඳහා පිටත්ව ගොස් ඇත.

සෞඛ්‍ය පරික්ෂකවරයා බස් රථයේ සියලු මගීන්ගේ විස්තර ලබාගෙන, කිසිදු මගියකු බස් රථයට නංවා ගැනීමකින් තොරව ගමනාන්තය දක්වා ගමන් කරන ලෙස දන්වා තිබේ.  මේ අතර මගීන්ටද නිවෙස්වලට ගොස් නිරෝධායනයට ලක්වී යම්කිසි රෝග ලක්ෂණයක් මතුවන්නේ නම් වහාම ඒ බව සෞඛ්‍ය අංශ දැනුවත් කරන ලෙසත් දැනුම්  දුන් බව මහජන සෞඛ්‍ය පරික්ෂක රණතුංග මහතා පැවසීය.  දඹුල්ල රෝහලේ වාට්ටුවට ඇතුළත් කළ පුද්ගලයාගේ පී.සී.ආර්. පරික්ෂණ එම අවස්ථාවේම ලබාගෙන මහනුවර පරික්ෂණාගාර වෙත යැවීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශය සඳහන් කළේය.

 -කුමාර ආරියදාස-