කොරෝනා ආසාදිතයකු වූ තම පියා දින දහහතරක නිරෝධායන කාලය අවසන් කිරිමෙන් පසුව ආපසු නිවෙසට රැගෙන ඒම ප්‍රතික්ෂේප කරමින් ගිලන් රථ රියැදුරන් දින දෙකක් තිස්සේ තම පියා ගිලන් රථයක දමාගෙන රවුම් ගැසු බවට එම පුද්ගලයාගේ පුතා චෝදනා කරයි. මෙම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කරවල ව්‍යාපාරිකයකු ලෙස කටයුතු කරමින් සිටි කුරුණෑගල මල්ලවපිටිය උයන්දන පදිංචි අයි.ඩී. ධර්මසේන මහතා කොරෝනා ෙවරසය ආසාදනය වීම හේතුවෙන් ඉකුත් මස 16 වැනිදා නිරෝධායනය සඳහා දන්කොටුව කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත. ඉන් පසුව ඔහුගේ නිරෝධායන කාලය පසුගිය 31 වැනිදායින් අවසන් වීමෙන් පසුව ඔහු දන්කොටුවේ සිට කුරුණෑගල දක්වා රැගෙන
ඒම ගිලන්රථ රියැදුරන් විසින් ප්‍රතික්ෂේප කරන බවට ඔහුගේ පුතා වන රජිත මධුරංග මහතා චෝදනා කරයි. ඔහු මෙසේ කීය.

"මුලින්ම කීවේ මගේ තාත්තා වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට අරන් යනවා කියලයි. පසුව තමයි  දැනගත්තේ තාත්තා අරන් ගියේ දන්කොටුවට කියලා. නිරෝධායනය අවසන් කරපු අනිත් අයත් එක්ක තාත්තාත්  ගෙවල්වලට ගිහින් ඇරලවන්න කියලා පසුගිය පළමුවැනිදා සහ දෙවැනිදා දවස් දෙකම ගිලන් රථයක දාගෙන  කුරුණෑගලට එන්නේ නැතිව ආපහු ප්‍රතිකාරය මධ්‍යස්ථානයටම ගෙනිහින් දමලා. ගිලන්රථ රියැදුරන්  කියන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය තියෙන නිසා දිස්ත්‍රික් සීමාව පන්නලා යන්න බැහැ කියලාලු. එහෙමනම් කොහොමද ගම්පහ පැත්තේ ඉන්න කට්ටිය ගිහින් දාන්න යන්නේ. අනික දන්කොටුව අයිති වෙන්නේ වයඹ පළාතට".


"තාත්තලාට ඒ මධ්‍යස්ථානයේ හරියට කෑමක් බීමක් දීලත් නැහැ . උදේට බනිස් ගෙඩියක් දීලා දවල්ට එළවළු දෙකක්  එක්ක බත් දීලා, රෑ පොල් සම්බෝලත් එක්ක පාන් කන්කලු දෙන්නේ. තාත්තා නිරෝධායනයට ගිය නිසා අපේ කරවල ව්‍යපාරය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අපිට  දැන් ජීවත් වෙන්නවත් සල්ලි නැහැ. මේ ප්‍රශ්නය කියන ඕනෑ හැම බලධාරියකුටම කීවා තවමත් උත්තරයක් ලැබුණේ නැහැ . තාත්තා වයස නිසා දැන් මානසිකවත් වැටිලා ඉන්නේ . ඒ නිසා තාත්තාව ඉක්මණින් ගෙදරට එවන්න කියලා අපි රජයෙන් ඉල්ලා සිටිනවා” යැයිද ඔහු ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන් විමසීමට වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්. ෆරීඩ් මහතා දුරකථනය මගින් සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද සාර්ථක නොවීය.


 -පුෂ්පකුමාර ජයරත්න-