කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මිනුවන්ගොඩ සිට ත්‍රිකුණාමල නිරෝධායන මධ්‍යස්ථාන දෙකකට පැමිණි මෙවර අ.පො.ස (උ/පෙ) විභාගයට පෙනී සිටින සිසුවියන් තිදෙනෙකු වෙනුවෙන් ත්‍රිකුණාමලය සුමේධංකරපුර විද්‍යාලයීය තාවකාලික විභාග මධ්‍යස්ථානයක් ඇතිකර අවදානම නොතකා විභාග රාජකාරී වල යෙදුණු ගුරුවරියන් දෙදෙනා ඇගැයීමට ලක්කළ යුතු බව අධ්‍යාපන බලධාරීහු පවසති.
තාවකාලික විභාග මධ්‍යස්ථානයක් ඇතිකර එහි රාජකාරි සඳහා  යෙදවීමට නිරික්ෂකයන් බහුතරයක් අකැමැත්ත ප්‍රකාශ කරද්දී ප්‍රධාන විභාග සම්බන්ධීකරණ නිලධාරි සහකාර අධ්‍යපන අධ්‍යක්ෂ (සැලසුම්) දුමින්ද පීරිස් මහතාගේ ඉල්ලීම මත මෙලෙස අවදානම  නොතකා ඉදිරිපත් වූයේ 
ත්‍රිකුණාමලය උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි එච්.ඒ.ඒ. සන්ධ්‍යා කාන්ති හා එම විද්‍යාලයේ ආචාර්ය ඩබ්.ඒ.එම්. සඳලතා සිල්වා යන මහත්මීන්ය.


මෙම සිසුවියන්ට මිනුවන්ගොඩ නාලන්දා මහා විද්‍යාලයේ හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථාන වලදී උසස් පෙළට පෙනී සිටීමට නොහැකිවීම නිසා මෙලෙස විභාග මධ්‍යස්ථානයක් තාවකාලිකව ස්ථාපිත කර තිබුණි. මෙහිදී එක් සිසුවියකට කොවිඩ් 19 ආසාදිත වී තිබියදී ආරක්ෂිත ඇදුම් පැළඳුම් ඇඳ දවස පුරා මෙම ගුරුවරියන් දෙදෙනා දැඩි ආයාසයකින් රාජකාරී කර තිබුණේ විභාග රාජකාරි පවා අයදුම් කර  නොමැති අවස්ථාවක රටේ අවශ්‍යතාව සලකා ගෙනය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විදුහල්පතිනි එච්.ඒ.ඒ. සන්ධ්‍යා කාන්ති මහත්මිය අවුරුදු ගානක් ඉගෙනගෙන උසස් පෙළ ලියන්න බැරිවුණා කිව්වොත් මොන අපරාධයක් ද ගුරුවරුන් විදිහට අපි දරුවන් මේ විභාගයට සුදානම් කරන්නේ දහසක් බලාපොරොත්තු තියාගෙන. මේ විභාග මධ්‍යස්ථානයේ රාජකාරි කරන්න කවුරුවත් ඉදිරිපත් නොවුණු අවස්ථාවකදී දුමින්ද පීරිස් මහතාගේ ඉල්ලීමට අනුව අවදානම නොතකා ඉදිරිපත් වුණා. විභාගය ලියු සිසුවියක් කොවිඩ් 19 ආසාධිතයෙක්ද වුණා. නමුත් අපි ඒ අවදානම දරාගෙන වැඩ කළා.



මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නැගෙනහිර පළාත් අධ්‍යාපන  දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (සැලසුම්) ප්‍රධාන විභාග සම්බන්ධීකරණ නිලධාරි දුමින්ද පීරිස් මහතා, අපිට මේ ඉල්ලීම එනවිට සූදානම් වෙන්න කාලයක් නොතිබුණත් මම ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. සීමිත විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව තුළ ඒ ප්‍රශ්න පත්‍ර කළමනාකරණය කරගෙන විභාගය සුදානම් කර පවත්වාගෙන යනවා. අවදානම  නොතකා මේ ගුරුවරියන් දෙදෙනා කළ කැපකිරීම අගය කළ යුතුයි.  මෙහිදී විශේෂයෙන් කියන්න ඕන 221 බල සේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත කාරියවසම් මහතා අපිට සෑහෙන්න උදව් කළා. මේ ළමයි විභාග මධ්‍යස්ථානයට ගේන්න නැවත ගෙනියන්න විභාග නිරික්ෂකවරු ගේන්න ගෙනියන්න අවශ්‍ය ප්‍රවාහන පහසුකම් දුන්නේ අවදානම නොතකා බව විශේෂයෙන් මතක් කරත්න ඕන යැයි කීය.

-අමදෝරු අමරජීව