සිය දෛනික ආහාර අවශ්‍යතා පවා සපයා ගැනීමට නොහැකිව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විශාල පිරිසක් බෝඩිං කාමරවල සිරවී සිටින බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සේවක සංගමය පවසයි. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප පරිශ්‍රය තුළ නිරෝධායන

පොලිස් ඇඳිරී නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ ඇඟලුම් සේවක සේවිකාවන් සැලකියයුතු පිරිසකට සිය ආහාර හා ඖෂධ ලබාගැනීම ගැටලුවක්ව තිබේ. ඇතැම් කර්මාන්තශාලා ක්‍රියාත්මක නොවීම, වැටුප් නිසි ලෙස නොලැබී යාම ආදි කරුණු හේතුවෙන් මෙම පිරිස් අත ප්‍රමාණවත් මුදලක් නොමැතිකම මෙයට ප්‍රධානතම හේතුවක්ව ඇත. මෙලෙස බෝඩිං කාමරවල සිරවී සිටින පිරිස් අතර තවත් සමහරුන් ස්වයං නීරෝධායනයටද යොමු කරන තිබීම නිසා මෙම තත්ත්වය වඩාත් අයහපත් වී ඇත. 

නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවක සංගමය පවසන්නේ ඇති වී ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම සංගමය මේ වන විට වියළි සලාක පාර්සල් දහසක් පමණ දුෂ්කරතා ඇති කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන්ට ලබා දී තිබෙන බවයි. තවත් එවැනිම වියළි ආහාර සලාක ප්‍රමාණයක් ලබාදිමට තම සංගමය මැදිහත් වන බවද ඔවුහු පවසා සිටියහ.