වෛරසය හේතුවෙන් මරණයට පත් වූ බොහෝ රෝගීන් අතර දිගු කාලයක් පුරා පෙණහලු දුර්වලතා පැවැති බවට හඳුනාගෙන තිබෙන බව ලන්ඩන් නුවර කිංග්ස් කොලේජ්හි පර්යේෂකයන් පිරිසක් සඳහන් කරයි. ඒ අනුව ඔවුන් තුළ පැවැති මෙම රෝග තත්ත්වයන් "දිගුකාලීන COVID " ලෙස හැඳින්විය හැකි බවත්, එම රෝගීන් මාස ගණනාවක් පුරා එම රෝග ලක්ෂණවලින් පීඩාවිඳිමින් සිටින්නට ඇති බවත් ඔවුන් පවසා සිටියි.


COVID-19  වෛරසය හේතුවෙන් මරණයට පත් වූ පිරිසකගේ පෙණහලු පිළිබඳව සිදු කළ අධ්‍යයනයකින් පසුව එම පර්යේෂණ කණ්ඩායම මෙම කරුණු සඳහන් කර සිටියි. ඒ අනුව මරණයට පත්වූ බොහෝ පිරිසක් අතර කාලයක් පටන් සිදුව තිබුණු පෙණහලු හානි වීම් සිදුව ඇති බවත් හඳුනාගෙන තිබේ.


"මේ සොයා ගැනීම මගින් පෙන්නුම් කරනවා COVID-19 කියන්නේ හුදෙක් අපගේ සෛල වෙත ආසාදනය වීම නිසා මරණයක් සිදුවන රෝගයක් නොවන බව. එය දිගු කාලයක් පුරා අපගේ පෙණහලු තුළ පවතින මෙවැනි අසාමාන්‍ය සෛල නිසා ඇති වන තත්වයේ අහිතකර ඵලවිපාකයක් බව පෙනෙනවා." කිංග්ස් කොලේජ්හි මහාචාර්ය මයුරෝ ගිආසා පවසයි.

මෙහිදී එම කණ්ඩායම පසුගිය පෙබරවාරි සිට අප්‍රේල් දක්වා ඉතාලියේ Trieste විශ්වවිද්‍යාලය රෝහලේදී COVID-19 වෛරසය නිසා මරණයට පත්වූ රෝගීන්ගේ පෙණහලු, හදවත, අක්මා සහ වකුගඩු තුළ පටක සාම්පල ලබාගනිමින් අධ්‍යයනය සිදු කර තිබේ.

"මෙතැනදී පෙණහලු පටක තුළ සිදුව තිබූ හානිය වඩාත් දරුණුයි. සමහර විට COVID-19 වැලඳී එය සුව අතට පත්වූ අයෙකුගේ පෙණහලු වෙත වුණත් ඉන් සිදුවන හානිය ඉතාමත් විශාලයි."පර්යේෂණ කණ්ඩායම පෙන්වා දෙයි.