කෝවිඩ් - 19 වෛරසය පැතිර යාම හේතුවෙන් අඩාල වූ පෙරපාසල් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් සහ ආදායම අහිමි වූ පෙරපාසල් ගුරුවරුන් වෙනුවෙන් සාධාරණ වැඩපිළිවෙළක් සකසන ලෙස ගාල්ල දිස්ත්‍රික් පෙරපාසල් ගුරු සංගමයේ ප්‍රධාන අනුශාසක රත්න ගමගේ මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ කීය.


" මෙම වර්ෂයේ පෙරපාසල් පවත්වාගෙන ගිය කාලයට වඩා නොපැවැත්වූ කාලය වැඩියි. මේ නිසා ඉදිරි අධ්‍යයන වර්ෂයට පාසල් ආරම්භ කිරීමට පෙර පළමු වසරට ඇතුළත් වන දරුවන් ඒ සඳහා සූදානම් කිරීම නිසි පරිදි සිදු වූයේද යන්න ගැටලුවක්.

දිවයිනේ පෙරපාසල් 19,000ක් පමණ පවතින අතර ඒවායේ 40,000ක් පමණ ඉගැන්වීම් කටයුතු සිදු කරනවා. වාර්ෂිකව ඉගෙනුම ලබන දරුවන් සංඛ්‍යාව 360,000ක් පමණ වෙනවා.

අප රටේ පෙරපාසල්වලින් දරුවන් පාසල් අධ්‍යාපනයට හැඩගැස්වීමේ මුල් විය සංවර්ධනයේදී ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටු වෙනවා. මේ වසරේදී කෝවිඩ් වසංගතය නිසා එය සැලසුම් කළ ආකාරයෙන් සිදුවුණේ නැහැ. රජය විශ්වවිද්‍යාල ගැනත්, පාසල් ගැනත් කතා කළාට. පෙරපාසල් අධ්‍යාපනය ගැන කිසිම දෙයක් කියන්නේ නැහැ. පෙරපාසල් අරින සහ වහන දවස් ගැන විතරයි කතා කරන්නේ. නමුත් අපි ඉල්ලා සිටිනවා. මේ සඳහා රජය වහාම මැදිහත් විය යුතුයි කියා. අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වී මුල් ළමා විය සංවර්ධන දෙපාර්තමේන්තුවත් සමඟ එක්වී මේ දරුවන් පාසල් සඳහා සූදානම් කිරීමේ කෙටි කාලීන වැඩපිළිවෙළක් හඳුන්වා දීම අවශ්‍යයි.

මේ සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම සෑම රූපවාහිනී නාළිකාවකම අඩුම වශයෙන් දිනකට පැයක්වත් පෙරපාසල් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරන්න කියා අපි යෝජනා කරනවා."

රටේ උද්ගතව ඇති තත්වය මත පෙරපාසල් පවත්වාගෙන යන ගුරුවරුන් මේ වන විට දැඩි අසරණ තත්ත්වයකට පත්ව තිබෙනවා. තමන්ගේ දරුවන් වෙනුවෙන් දෙමාපියන් විසින් ලබාදෙන දීමනාවකින් පමණක් මේ පෙරපාසල් පවත්වාගෙන ගිය ඔවුන්ගෙන් වැඩිදෙනකු කුලියට ගත්
ගොඩැගිලිවල පෙරපාසල් පවත්වාගෙන යාම නිසා කුලිය මෙන්ම වතුර හා ජල බිල් ආදිය ගෙවීමට සිදුව තිබීමත් ඔවුන්ට ගැටලුවක් වී තිබෙනවා.

මේ ගුරුවරු දැන් කිසිම ආදායමක් නැතිව අසරණ වෙලා තියෙන්නේ රජයේ පළාත් පාලන ආයතනවලින් පවත්වාගෙන යන පෙරපාසල් හා ආගමික ස්ථාන සහ ප්‍රජාශාලාවල පවත්වාගෙන යන පෙරපාසල් හැරුණු විට අන් සෑම පෙර පාසලක් වෙනුවෙන්ම අධික මුදලක් වැය කරන්න සිදු වුණා. අද මේ ගුරුවරු ආදායමක් නැතිව අසරණ වෙලා. ඇතැම් විට තමගේ ගුරු වෘත්තියේ ගෞරවය පසෙක තියලා වෙනත් කටයුතුවල නිරත වෙන්න පවා සිදුව තිබෙනවා. ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා පෙරපාසල් වසා තිබූ කාලය පිළිබඳ සලකා බලා මේ ගුරුවරුන්ට අවම වශයෙන් මාසයකට රුපියල් 10,000ක පමණ දීමනාවක් ලබා දෙන්න කියා.

පෙරපාසල් අධ්‍යාපනය නැති නම් මුල් ළමා විය සංවර්ධන කාර්යය අපි දිගටම අඛණ්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒ සදහා අපි මේ ගුරුවරුන් සහ පෙරපාසල් රැකගන්න අවශ්‍යයි.” යැයිද පවසා සිටියේය. එම සංගමයේ සභාපති ඒ.පී. මල්කාන්ති මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූවාය.

සංගමයේ සෙසු නිලධාරීන්ද පෙරපාසල් ගුරුවරු රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

- සිරංගිකා ලොකුකරවිට -