කොරෝනා දෙවන රැල්ල යන තේමාව මේ දිනවල දැඩිව කතාබහට ලක්ව තිබෙන මාතෘකාවක් වී තිබෙනවා. මෙරට පවතින කොවිඩ් තත්ත්වය ගැන පැහැදිලි කරන බොහෝ දෙනා කියන්නේ මෙය දෙවන රැල්ලක් බවයි. මේ කතාව ඇත්තක්ද ?. කාලයක් යටපත් වී තිබුණු කොවිඩ් 19 ක්‍රමයෙන් වර්ධනීය අවස්ථාවකට ගමන් කිරීම දෙවන රැල්ලක් ලෙස හැඳින්වෙනවා.

අද වෙද්දී අපේ රට ඇතුළේ දකින්නට ලැබෙන්නේ කොවිඩ් දෙවන රැල්ලක්ද ?. කොවිඩ් පැතිරෙන්න ගත්තු මුල් කාලසීමාවේදී අපේ රටේ නිසි සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කිරීමේ අවශ්‍යතාව ජනතාවට ඒත්තු ගියේ නැහැ. රටම ලොක්ඩවුන් කරලා තිබුණත් සංචරණ සීමා ඉවත්කරපු ගමන් මෙරට ජනතාව එහෙ මෙහෙ සැරිසරන්න පටන්ගත්තා. අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් නිවසින් පිටතට එන්න, හැමවිටම ෆේස් මාස්ක් පළඳින්න, මීටරේ දුර ගැන මීටරෙන් ඉන්න කියලා රජය වගේම සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීම් කළත් මෙහි බරපතලකම අවබෝධ කරගන්න ජනතාවට නොහැකි වුණා. අඩුම තරමේ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන විටදීවත් ෆේස් මාස්ක් නොපළඳින වාතාවරණයක් උදාවුණා.


ලොක්ඩවුන් අයින් කරලා මැයි මාසේ වෙද්දී රටට නිදහසේ ඇතුල්වෙන්න පුළුවන්, දිවයින පුරා නිදහසේ ගමන් කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය වුණා. හැබැයි, වෛරසය අපි අතරින් ඉවත් වුණේ නැහැ. කොවිඩ් මාරයා මඟතොට ගැවසෙන මිනිසුන් අතරම රැඳී හිටියා.

කොවිඩ් ශරීරගතවුණු පිරිස් අපි අතරම හිටියත් රෝගී කවුද, නිරෝගී කවුද යන්න හඳුනාගන්න නොහැකි වුණා. ඊට පස්සේ සිද්ධ වුණේ නැවත වරක් පළමු රැල්ල තුළ සැඟවී සිටි රෝගී පිරිස් ඉස්මතුවීමයි. මීටපෙර සිදුවුණාට වඩා පී.සී.ආර් පරීක්ෂණ වැඩි වැඩියෙන් සිද්ධ වෙද්දී මාරයා අපි අතරමයි කියන වග පසක් වෙන්නට ගත්තා. ඇත්තටම, සිද්ධ වුණේ අළුත් රැල්ලක් මතුවීම නොවෙයි. පළමු රැල්ලේ අවසානය ඉස්මතු වීමයි. අද වෙද්දී අතිශය දරුණු විදියට ඉස්මතු වෙලා තියෙන පළමු රැල්ලට අපි හොඳින් මුහුණ දුන්නේ නැත්නම් ඊළඟට අපිට ඇත්තටම තවත් රැල්ලකට මුහුණදෙන්නට සිද්ධ වෙන වග නම් නොඅනුමානයි.

මේ රැල්ල මෙතැනින් අවසන් නොවුණොත් සිද්ධවෙන්නේ කුමක්ද?

මේ පිළිබඳ හොඳ ම උදාහරණය ලැබෙන්නේ 20 වැනි සියවසේ  මුල් භාගයේ ලොව වෙලාගත්, ඉන්ෆ්ලුවෙන්සා වසංගතයේ බිහිසුණු අවස්ථාවක් වුණු ස්පාඤ්ඤ උණෙන්.
ස්පාඤ්ඤ උණ ආරම්භ වෙන්නේ 1918 වසරේ අගභාගයේදී. නමුත් මාස තුනක කාලයක් පුරා තරමක් ප්‍රබල ව පැතිරී ගිය මේ වෛරසය, මුල් වටයේදී තරමක් පාලනය කරගැනීමට හැකිවෙනවා. නමුත් 1914දී ඇරඹුණු පළමු ලෝක යුද්ධය, 1918දී අවසාන වීමත් සමග, ජනතාව සෞඛ්‍ය පුරුදු අමතක කර වීදි සැණකෙළි පවත්වන්නට පෙළඹෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මාස තුනෙන් අවසාන කරගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, වසර දෙකක කාලයක් දික්වෙනවා. ලොවපුරා මිලියන 500 ක පමණ ජනතාවට මෙම වෛරසය වැළඳුණු අතර ඉන් මියගිය පිරිස මිලියන 20 – 50 පමණ වෙන බවට ගණන් බලා තියෙනවා. මේ සංඛ්‍යාව සලකා බැලුවොත් පළමු ලෝක යුද සංග්‍රාමයේදී මියගිය සෙබළුන් හා සිවිල් ජනතාවගේ එකතුව ද ඉක්මවා යනවා. ඒ අනුව, ඉතා සුළු හානියකින් වළක්වාගන්න තිබුණු ස්පාඤ්ඤ උණ, ලෝක යුධ ජයග්‍රහණ සැමරුම් නිසා අවසාන වෙන්නේ ලෝක යුද්ධයටත් වඩා ජීවිත ගණනක් බිලි ගනිමින්.

ලංකාවෙත් දැන් පවතින්නේ ඒ හා සමාන ම තත්වයක්. පළමු රැල්ල අවසාන වුණා කියා අප සිතුවාට, අප ඉන් ගොඩ ආවාය කියන්න සාධක නැහැ. අපි පළමු රැල්ල ජයගත්තා කියා අප සිතා ඉන්නවා වෙන්න පුළුවනි. ඒ අනුව, කොරෝනා වසංගතයේ දෙවන රැල්ල කියා අප මේ කියන පළමු රැල්ල, තවමත් අවසාන නෑ. පළමු රැල්ල, දෙවැනි, තුන්වැනි, සිවුවැනි ආදී වශයෙන් අපව යටකරගෙන යන්න ඉඩ නොදී, නිසි සෞඛ්‍ය ප්‍රමිතීන් අනුගමනය කරමින් කොවිඩ් මාරයා පරාජය කිරීමේ වගකීම තියෙන්නේ අපි සතුවමයි.