ඊයේ (1) සවස බස්නාහිර පළාතට නැවත වතාවක් ඇඳිරි නීතිය දීර්ඝ කිරීමේ නිවේදනය නිකුත් කරන්නට යුද හමුදාපතිවරයා කටයුතු කළ අතර එම ආරංචිය සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සාධාරණ වුවත් ඇතැමෙකුට විශ්වාසය පිළිබඳ ගැටලුවක් විය.

ඊට හේතුවූයේ පසුගිය සතියේ සූදානම් වීමට දිනයක ඉඩක් තබාම ඇඳිරි නීතිය පැනවූ නිසා දින 3 කට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස් කර තබාගන්නට බොහෝ අය උත්සුක වීමෙනි. අපි දාන්නෙ දින 3 කට විතරයි අනවශ්‍ය ලෙස වෙළෙඳ සැල් වලින් ආහාර රැස් කිරීමට අවශ්‍ය නැහැ යනුවෙන් බලධාරීන් පවසා තිබූ අතර මෙම විශ්වාසය මත දින 3 කට

සූදානම් වුවද ඉරිදා සවස අන්තිම මොහොතේ තවත් සතියකින් ඇඳිරිය දීර්ඝ කරන බව පැවසීම එසේ සූදානම් වූ අයට ගැටලුකාරී විය. එසේම යුද හමුදාපතිවරයා දැන් ප්‍රකාශ කරන්නේ ඇඳිරි නීතිය අතර වෙළෙඳසල් විවෘත කිරීමද නවතා දමන බවයි.


මීට පෙර ප‍්‍රකාශ කළ පරිදි අද සඳුදා දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ වෙළදසැල් විවෘත නොවන බවද දන්වා තිබේ. මෙයට හේතුවී ඇත්තේ වෙළෙඳසැල් විවෘත කිරීමේදී අනවශ්‍ය ලෙස වෛරසයට නිරාවරණයවීම් වැඩි බව ඒත්තු යාමෙනි.යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ මීට පෙර වෙළදසැල් විවෘත කර තැබූ අවස්ථාවේදී ජනතාවගේ හැසිිරීම සතුටු දායක නොවූ බවයි.


ඇඳිරිය අතර ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත‍්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසා තිබේ.

කොරෝනා වෛරසයේ පලමු රැල්ල වාර්තා වූ සමයේ ද අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස් අසලටම ගෙන ගොස් බෙදා හැරීමට කටයුතු කර තිබුණි.

සතොස සහ සුපිරි වෙළදසැල් ජාල ඊට සම්බන්ධවීමට දැනටමත් සූදානම් බව යුද්ධ හමුදාපතිවරයා සදහන් කර තිබේ.

කෙසේ වෙතත් ඊයේ ඇඳිරිය දීර්ඝ කරන නිවේදනය කළ අවස්ථාවේ සිට දිවයිනේ ප්‍රමුඛ පුද්ගලික සුපිරි වෙළෙඳසැල්වල අන්තර්ජාල ඇණවුම් සඳහා අධික ඉල්ලුමක් පැවති අතර ඇතැම්වායේ පිවිසුම් පවා සීමා කර තිබීම හෝ පිවිසුම් විය නොහැකි තත්වය පත්ව තිබුණි.