බත්තරමුල්ල, පොල්දූව පාලම අසල දියවන්නා ඔයේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය පරීක්ෂාවට ලක්කළ වැලිකඩ පොලිසියේ නිලධාරින්ට ඔයේ
පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් පෙරේදා(28) දින උදෑසන සොයා ගැනීමට හැකි වූ බව වැලිකඩ පොලීසිය පැවැසීය. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් මේ පිළිබඳව දියවන්නා ඔයේ රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදාවේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන්පසුව සිදුකළ විමර්ශනයේදී මෙම පුද්ගලයා බත්තරමුල්ල ප්රදේශයේ නිවසක අරක්කැමියකු ලෙස ඉතා දීර්ඝ කාලයක් සේවය කර ඇති බවත් එම නිවසින් පසුගිය සතියේ (25) බදාදා දින සිට මියගිය පුද්ගලයා ආගිය අතක් නොමැති බවට නිවසේ අයිතිකරු තලංගම පොලිසියේ පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් අනාවරණය වූ බවද පොලීසිය පැවැසීය. මියගිය පුද්ගලයා එච්.ඒ. ලක්ෂ්මන් කරුණාතිලක වන (62) හැවිරිදි දෙදරු පියකු බවත් උපන් ගම කඩවත ප්රදේශයේ බවත් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. මෘත ශරීරය දියවන්නා ඔයේ ඉවුරට රැගෙන ආපසු එම ස්ථානයට පැමිණි කොලොන්නාව කොට්ඨාස හදිසි මරණ පරික්ෂකවරිය වන කාංචනා විජේනායක මහත්මිය මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිස් රෝහලේ මෘත ශරීරාගාරයට යවන ලෙස නියෝග කළාය.
මෙම මරණය ඝාතනයක්ද? නැතහොත් දියට පැන දිවි නසා ගැනීමක්ද? යන්න තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඒ සඳහා විශේෂ පරික්ෂණයක් පවත්වන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ඉන්දික කෝරළගේ මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරිහු සිදු කරති.
(එච් එම් ධර්මපාල)
0 Comments