මියගිය පුද්ගලයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයගේ ජීවිතයට තර්ජනයක් නම් ආගමික නිර්දේශ පසෙක තබා එම සිරුරු ආදාහනය කළ යුතු බවත්, එය බෞද්ධ, ඉස්ලාම් හෝ හින්දු යන ආගමික පදනමින් ප්‍රශ්නයක් කර නොගත යුතු බවත් අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.


රටක් ලෙස මේ අවස්ථාවේ අප යම් අර්බුදයකට ලක්ව සිටින අවස්ථාවක ඉන් ගොඩ ඒමට සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුව තිබෙන මොහොතක ජාති හා ආගම් භේද මතු කිරීමට කිසිවෙකු උත්සහ කරන්නේ නම් එය රටට කරන අයහපතක් බවද උන්වහන්සේ පැවසූහ.

කෝවිඩ් -19 වෛරසය ශරීරගත වීම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘතදේහ ආදාහනය කරන්නේද භූමදානය කරන්නේ ද යන්න තීරණය කළ යුත්තේ ආගමික පසුබිමක් තුළ නොව සෞඛ්‍ය අංශ මගින් නිර්දේශ කරනු ලබන ආරක්ෂිත ක්‍රමවේද අනුව බව උන්වහන්සේ සඳහන් කළේය.

කෝවිඩ් -19 වෛරසය ශරීරයෙන් ශරීරයට පැතිර යන්නේ ජාති,ආගම් හෝ වෙනත් කිසිඳු භේදයක් නොසලකා බවත්, ඉන් පුද්ගලයන් මරණයට පත්වන්නේ කිසිඳු වර්ගීකරණයකින් තොරව වන අතර, මරණයෙන් පසු අප භේද ඇතිකර ගැනීම අනවශ්‍ය ගැටලුවකට පාර කැපීමක් බවත් නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පැවසූහ.

මරණයෙන් පසු ආදාහනය හා භූමදානය කිරීමට පෙර මළගිය තැනැත්තා වෙනුවෙන් බෞද්ධාගමික වශයෙන් ඉටුකළ යුතු චාරිත්‍ර තිබෙන නමුත්, මෙම අවස්ථාවේ බෞද්ධ ජනතාව එය තේරුම් ගෙන අදාළ ආගමික වතාවත් ඉටු නොකර කෝවිඩ් ආසාදිතයන් ආදාහනය කිරීමට ඉඩ දී තිබෙන බවද උන්වහන්සේ සඳහන් කළේය.

මුස්ලිම් ජනතාව අතර යම් පිරිසක් ආගමික පදනමින් පමණක් මෙම ප්‍රශ්නය දෙස බැලීම කනගාටුවට කරුණක් බවත්, වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය අංශ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර තිබෙන අතර අප කළ යුත්තේ අපගේ හිතුමනාපයට කටයුතු නොකර එම නිර්දේශ අනුව ක්‍රියා කිරීම බවත් උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
- චමිල් රූපසිංහ -