රෝහල් ගත කර සිටින කොවිඩ් ආසාදිතයන් අතුරින් රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන් දින 14කට පසුව යළිත් පී.සී.ආර්. පරික්ෂණයක් කිරීමක් නොකර  මුදාහැරීමට සෞඛ්‍ය අංශ තීරණය කර ඇතැයි වසංගත රෝග
විද්‍යා අංශයේ අධ්‍යක්ෂ, ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ඊයේ (2) පැවසීය.  ඒ අනුව රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන්ගෙන් දින 10ත් 14ත් අතර කාලයකට පසුව තවත් අයකුට වයිරසය ආසාදනය නොවන බැවින් ඔවුන් විශ්වාසයකින් යුතුව මුදා හැරිය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

පී.සී.ආර්. පරික්‍ෂණයකින් හඳුනාගන්නේ වයිරසයේ කොටස් මිස

සජීවී වයිරසයක්ද නැද්ද යන්න නොවන බව කී වෛද්‍යවරයා රෝග ලක්‍ෂණ නොපෙන්වන ආසාදිතයන්ගෙන් දින 10ත් 14ත් අතර කාලයකට පසුව තව කෙනකුට රෝගය බෝ නොවන බව ලෝකයේ මෙන්ම ශ්‍රී ලංකාවේ කළ අධ්‍යයනයන්ගෙන් තහවුරු වී ඇති බවද කීවේය. සුදත් සමරවීර මහතා මේ බව පැවසුවේ  සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී ඊයේ (2) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.  සුවපත් රෝගීන් නිවෙස් කරා යැවීමත්, පී.සී.ආර්. පරික්‍ෂණ ඵලදායීව යොදාගැනීමත්  අරමුණු කරගනිමින් මෙම පියවර ගත් බව ද සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේය. 

 රෝග ලක්‍ෂණ නැති ආසාදිතයන් සඳහා රෝහල් නොවන අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කළේ ඔවුන්ගෙන් අන් අයට බෝවීම පමණක් වළක්වාගත යුතු නිසා බව හෙතෙම කීවේය.  මේ අතර ඊයේ (2) දිනයේදී සියදිවි නසා ගැනීමක්

හේතුවෙන් සිදුවූ මරණය කොවිඩ් ආසාදිත මරණයක් ලෙස භාවිතා කළේ මරණයෙන් පසුව කළ පී.සී.ආර්. පරික්‍ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වූ නිසා යැයි කී වෛද්‍යවරයා මෙය රෝගය නිසා සෘජුව සිදුවූ මරණයක් නොවුණත් ඔහු ආසාදිතයකු නිසාත්, ජනතාවගේ දැනගැනීම සඳහාත් එසේ වාර්තා කළ බව ද කීවේය.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ මේ වන විට දිනකට පී.සී. ආර්. පරික්‍ෂණ 12,000 ඉක්මවා සිදුකරන බවයි.  මේ වන විට පී.සී.ආර්. පරික්‍ෂණ සඳහා නියැදි ලබාගත් බහුතරයකගේ ප්‍රතිඵල දැනුම් දී තිබෙන බව කී හේමන්ත හේරත් මහතා දහස් ගණනක් කරන විට එක  දෙකක සටහන්වීමේ අතපසුවීම් විය හැකි නිසා වාර්තා ආවේ නැත්නම් නැවත පරික්‍ෂණය කරවාගත හැකි බව ද කීවේය.

- ඩයනා උදයංගනී-