දෙහිවල ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටියදී එම නිවසින් එහි අයිතිකරුවන් විසින් පන්නා දැමූ බව කියන 67 හැවිරිදි මවක් සහ ඇයගේ 33 හැවිරිදි අවිවාහක දියණිය යන එන මං නොමැතිව අසරණව කොළඹ ජාතික කෞතුකාගාරය අසල පිහිටි බෝ ගස යට සිටියදී හමු වූ බව කුරුඳුවත්ත පොලිසිය කියයි. මේ වනවිට මෙම මව සහ දියණිය කුරුඳුවත්ත පොලිසියේ කාන්තා නිලධාරිනියන්ගේ රැකවරණය ලබමින් පසුවෙති.

වැදගත් පවුල් පසුබිමක්, යමක්කමක් තිබූ මෙම මව සහ දියණිය ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඔවුන්ට අයත් සුවිසල් නිවසේ ජීවත්ව ඇත. මෙම හැටහත් හැවිරිදි කාන්තාවගේ සැමියා නැව් සමාගමක අධ්‍යක්‍ෂ තනතුරක් දරා ඇති අතර මීට වසර ගණනාවකට ඉහත දී මියගොස් තිබේ.


මව සහ දියණිය පදිංචිව සිටි නිවස මීට වසර 8කට පමණ පෙර උකස් කර තිබූ නිසා එට උකසට සින්න වී ඇති  අතර පසුව ආර්ථික අමාරුකම් නිසා ඔවුන්ගේ කාර් රථය ද විකුණා දැමීමට සිදුවී ඇත.

මේ වනවිට තිස්තුන් වන වියේ පසුවන තරුණිය විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇතත් ආර්ථික අපහසුතා නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබාගැනීමට නොහැකි වී ඇති බව කියති.

පොලිසිය කළ කරුණු විමසීමේදී මෙම තොරතුරු හෙළි වූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

අවසන් වරට පදිංචිව සිටි දෙහිවල ප්‍රදේශයේ කුලී නිවසින් ඔවුන් පන්නා දමා ඇත්තේ මාසික කුලිය නොගෙවීම නිසාය.

බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබීම නිසා මව සහ දියණියට ඉන්න හිටින්න තැනක් සොයා ගැනීමට නොහැකි වීමෙන් ඔවුන් බස් නැවැතුම්පොළවල්වල, රථගාල්වල රැය පහන් කර තිබේ.

මව සහ දියණිය මේ ආකාරයට දින හයක පමණ කාලයක් යමකුගෙන් ලැබෙන ආහාරයකින් කුසගින්න නිවාගෙන මහමග ජීවිතය ගෙවා දමමින් සිට ඇත්තේ කොරෝනා වයිරස අවදානම ද දරාගෙනය.

කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සාරානාත් සමරකෝන් මහතාට ලැබුණු තොරතුරක් මත එම පොලිසියේ උපපොලිස් පරික්‍ෂක තිලක් කුමාර බණ්ඩාර මහතා ජාතික කෞතුකාගාරය අසල ඇති ගස යට සිටි මව සහ දියණිය පොලිසියට ගෙන ගොස් ඇත්තේ ඉකුත් 2 වැනිදාය. ඒ වනවිට මව සහ දියණිය සතුව තිබු එකම වස්තුව වූයේ ඇඳ සිටි ඇඳුම් හා බෑගයක බහා තිබු ඇඳුම් දෙකක් පමණක් බව පැවැසේ.

මව සහ දියණිය පොලිසියට රැගෙන යාමෙන් පසු ඔවුන්ගේ මූලික අවශ්‍යතා සිය පෞද්ගලික වියදමින් මිලට ගෙන දී ඇත්තේ උපපොලිස් පරික්‍ෂක බණ්ඩාර මහතා විසිනි. යන එන මං නොමැතිව මහමගට වැටී අනාරක්‍ෂිතව සිටි මව සහ දියණියට පොලිසියේ රැකවරණය ලබාදීමට ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සාරානාත් සමරකෝන් සහ උපපොලිස් පරික්‍ෂක බණ්ඩාර යන මහත්වරුන් මානුෂිකව කටයුතු කර ඇත.

"තාත්තා මැරුණාට පස්සේ තමා අපි අසරණ වුණේ. ගේ සින්න වුණා. කාර් එක විකුණා දැම්මා. ඊට පස්සේ මමයි අම්මයි
වෙන්නප්පුව වයික්කාල ඇතුළු ප්‍රදේශ කිහිපයකම කුලී ගෙවල්වල ජීවත් වුණා. අන්තිමට හිටියේ දෙහිවල ගෙදරක. ඒ ගෙදරින් අපිව පන්නා දැම්මා. කෞතුකාගාරය ළඟට එන්න කලින් විහාරමහාදේවි පාර්ක් එකේ අපි දෙන්නා දවස් දෙකක්ම හිටියා. කවුරු හරි දෙන දෙයකින් කුසගින්න නිවා ගත්තා. කෞතුකාගාරය ළඟට ආවාට පස්සේ ගොවිජන සේවා එකේ සිකියුරිටි මහත්වරු අපි දෙන්නාටම කන්න බොන්න ටික ලබාදුන්නා" යැයි 33 හැවිරිදි තරුණිය පොලිස් නිලධාරීන් සමඟ පවසා ඇත.

යන එන මං නොමැතිව අසරණ වී සිටින මව හා දියණිය ගැන උපපොලිස් පරික්ෂක බණ්ඩාර මහතා බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂිකා චන්දිමා දිසානායක මහත්මියට දැනුම් දීමෙන් පසුව ඇය ඔවුන් දෙදෙනාගේ පිහිටට ඉදිරිපත්ව සිටී.

“මෙම මව සහ දියණිය වැටී සිටින අසරණ තත්ත්වය ගැන මහරගම සුචරිතෝදය ආබාධිත හා වැඩිහිටි නිවාසයට මම දැනුම් දුන්නා. එහි පාලන අධිකාරිය මේ දෙන්නාට රැකවරණය ලබාදීමට එකඟ වුණා. ඒ ගැන ඔවුන්ට ස්තූති කරනවා. දින ගණනාවක් තිස්සේ මෙම මව හා දියණිය රැකබලාගත් කුරුඳුවත්ත පොලිසිය කළ මෙහෙය ප්‍රශංසනීයයි" යැයි මේ සම්බන්ධව කළ විමසීමකදී බස්නාහිර පළාත් සමාජ සේවා අධ්‍යක්ෂිකා චන්දිමා දිසානායක මහත්මිය පැවැසුවාය.

මෙම මව සහ දියණිය පෙරේදා (4) පී.සී.ආර්. පරික්‍ෂණයකට ලක්කර තිබෙන අතර එහි වාර්තාව ලැබුණු පසු බස්නාහිර පළාත් සමාජ සේවා නිලධාරිනියන්ට බාරදෙන බව පොලිසිය කියයි.

- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -