ආජන්ටිනාවේ හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මොළයේ රුධිරය කැටි ගැසීම හේතුවෙන් සැත්කමකට භාජනය කර තිබේ.

කෙසේ වෙතත් මීට පෙර සඳහන් කර තිබුණේ මැරඩෝනාට 'කෝවිඩ්-19" ආසාදනය වී ඇතැයි බියක් හේතුවෙන් ආජන්ටිනාවේ බුවනෝස් අයර්ස්හි රෝහලකට ඇතුළත් කර ඇති බවකි.

මෙම පුවත් එම අවස්ථාවේදී ඩියාගෝ මැරඩෝනාගේ පෞද්ගලික වෛද්‍යවරයා ප්‍රතික්ෂේප කළේය.


ඩියාගෝ මැරඩෝනා වෛද්‍ය පරීක්ෂණ සඳහා පසුගියදා (02දා) බුවනෝස් අයර්ස්හි රෝහලට ඇතුළත් කළ බව ඔහුගේ පුද්ගලික වෛද්‍යවරයා නිවේදනය කළේය.

පෞද්ගලික සායනයකදී රුධිර කැටියක් සඳහා සාර්ථක මොළයේ සැත්කමක් සිදු කළ බව ඔහුගේ වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මත්ද්‍රව්‍ය අනිසි භාවිතය හා දුර්වල සෞඛ්‍ය පිළිබඳ ඉතිහාසයක් ඇති මැරඩෝනා හට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වුවහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇතැයි වෛද්‍යවරු පවසති.

ඩියාගෝ මැරඩෝනා මීට පෙර හෘදයාබාධ දෙකකට ගොදුරු වී ඇති අතර හෙපටයිටිස් රෝගයටද ගොදුරු වී තිබේ.

1986 ලෝක කුසලාන තරඟාවලියේදී තම කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ හිටපු ආජන්ටිනා නායකයා මේ වනවිට ආර්ජන්ටිනාවේ සුපර්ලිගා තරඟාවලියට ක්‍රීඩා කරන ගිම්නේෂියාහි පුහුණුකරු ලෙස කටයුතු කරයි.

ඩියාගෝ මැරඩෝනාගේ ආරක්ෂක භටයෙකුට කෝවිඩ් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමෙන් පසුව මැරඩෝනාද පසුගිය මාසයේදී ස්වයං නිරෝධායනයට ලක්ව තිබුණි.