අද දින ජීවිතයෙන් සමුගත්  ඩියාගෝ මරඩෝනා 1960 වර්ෂයේ ඔක්තෝබර් මස 30 වන දින ආර්ජන්ටිනාවේ බුවර්නෝස්අයර්ස් හි ලානුස්හීදී උපත ලැබුවේය. එක දිගට දියණියන් සිව් දෙනෙක් ලබා සිටි මැරඩෝනා පවුලට එක් වුණු ප්‍රථම පිරිමි දරුවා වීම නිසා පවුලේ අය ඔහුට බෙහෙවින් ආදරය කළ බව කියැවුණි. කුඩා කල සිටම මැරඩෝනා පාපන්දු ක්‍රීඩාවට ඇළුම් කළේය.මැරඩෝනා ක්‍රීඩා සමාජයකට එක්ව ක්‍රීඩා කරන්න පටන්ගන්නේ වයස අවුරුදු 8ක් වෙද්දීය. ඔහු වයස 16දී ජ්‍යෙෂ්ඨ කණ්ඩායමක ක්‍රීඩකයෙකු බවට පත්වේ. ඔහු ක්‍රමයෙන් ඉදිරියට ගමන් කරන අතර 1979දී 20න් පහළ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු බවට පත්වේ.


 මැරඩෝනා ප්‍රහාරක ක්‍රීඩකයෙක්ට වඩා දක්ෂතා දැක්වූයේ ආක්‍රමණශීලී මැදපෙල ක්‍රීඩකයෙක් ලෙසටයි. තරග 167ක් ක්‍රීඩා කරමින් ගෝල 116ක් රැස් කරගෙන සිටි වකවානුවේ 1982දී ඔහු යුරෝපා තරග සඳහා තෝරාගැනෙන අතර ජාත්‍යන්තර මට්ටමේ පාපන්දු අත්දැකීම් ඔහුට එහිදී ලැබේ. ඒ අනුව ඔහු ස්පාඤ්ඤය වෙනුවෙන් හා ඉතාලිය වෙනුවෙන් ලීග් තරග සඳහා මිලක් ලැබෙන ක්‍රීඩකයෙකු බවට පත්වේ.මේ අතරවාරයේ 

1986 ලෝක පාපන්දු ශූරතාවය ඔහුගේ මූලිකත්වයෙන් ආර්ජන්ටිනාව දිනාගන්නා අතර එම තරගය ඔහුගේ කීර්තිය දසත පැතිරවූ එකක් විය.

1986 පාපන්දු ලෝක කුසලානයෙන් පසු ඉතාලියේ නාපෝලි කණ්ඩායම වෙනුවෙන් සිය සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ මැරඩෝනා තවතවත් ජයග්‍රහණ රැසක් අත්කරගත්තේය. ඒ කාලයේ ඔහුට අධික මිලක් ලැබෙන අතර ඔහුට අභියෝග කිරීමට සමත් වෙනත් පාපන්දු ක්‍රීඩකයෙකු නැති කරමට ඔහු ප්‍රබලයෙකු විය.

අනතුරුව 1990 වසරේ ඉතාලියේ පැවති පාපන්දු ලෝක කුසලානයේ දී ද මැරඩෝනා ආර්ජෙන්ටිනා කණ්ඩායම අවසාන මහා තරඟය දක්වා මෙහෙයවීමට සමත්විය. නමුත් වළලුකරෙහි ආබාධ තත්වයක් තිබූ බැවින් පෙර මෙන් දස්කම් දැක්වීමට මැරඩෝනා අපොහොසත් විය.1990 වසරේදී බටහිර ජර්මනියට එරෙහිව පැවති අවසාන මහා තරඟයෙන් 1-0 ක් ලෙසින් ආර්ජෙන්ටිනාවට පරාජය වීමට සිදුවිය.

1990 පාපන්දු ලෝක කුසලානයෙන් පසුව මත්ද්‍රව්‍ය චෝදනා, පෞද්ගලික ප්‍රශ්න සහ විවිධ හේතු මත මැරඩෝනාට සිය උපරිමය ප්‍රදර්ශනය කිරීමට නොහැකි වූ අතර ඔහු විවිධ යුරෝපානු කණ්ඩායම් වලට මාරුවෙමින් පසුගාමී තරග විලාසයක් පෙන්නුම් කළේය.

1994 පාපන්දු ලෝක කුසලානයේ දී මැරඩෝනා තහනම් උත්තේජක චෝදනා ලබන අතර ආර්ජෙන්ටිනා කණ්ඩායම වෙනුවෙන් තරඟ දෙකක් පමණක් නියෝජනය කිරීමට මැරඩෝනා ට හැකිවිය. එහිදී ද මැරඩෝනා ග්‍රීසියට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට සමත් වූයේය.

1997 වසරේ දී මැරඩෝනා පාපන්දු ක්‍රීඩාවෙන් සමුගත්තේය.

ක්‍රීඩකයෙකුව​ සිටියදීම 1994 සහ 1995 වසරවල කණ්ඩායම් දෙකක පුහුණුකරු ලෙසින් කටයුතු කලද මැරඩෝනා පුහුණුකරුවෙකු ලෙසින් ජනප්‍රිය වූයේ 2008 වසරේ දී ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ධූරයට පත්වීමෙන් අනතුරුවයි. 2010 පාපන්දු ලෝක කුසලානයේ දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා ආර්ජෙන්ටිනා කණ්ඩායම ගෙන ඒමට මැරඩෝනාට හැකිවූවත් අර්ධ අවසන් පූර්ව වටයේ දී ජර්මනිය හමුවේ ගෝල 4-0 ක දැවැන්ත පරාජයක් ලැබීමට මැරඩෝනාගේ ආර්ජෙන්ටිනා කණ්ඩායමට සිදුවිය. ඉන්පසු 2011 වසරේ දී එක් තරඟ සමයක් වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙහි අල්-වස්ල් ක්‍රීඩා සමාජයෙහි පුහුණුකාර තනතුර දැරූ මැරඩෝනා පහුගිය වසරේ සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේම ක්‍රීඩා සමාජයක් වන අල්-ෆූජයිරා ක්‍රීඩා සමාජයෙහි පුහුණුකාර තනතුර දරමින් සිටීයේය.

මැරඩෝනා විවාහ වී සිටියේ ක්ලෝඩියා විසෆනේ සමඟිනි. 1984 වසරේ දී විවාහ වූ ඔවුන් 2004 වසරේ දී වෙන්විය. එම විවාහයෙන් දල්මා සහ හියැනිනා නමින් දියණිවරුන් දෙදෙනෙක් සිටී. හියැනිනා කලක් විවාහ වී සිටියේ ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායමේ සහ මැන්චෙස්ටර් සිටි කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක සර්ජියෝ අගුවේරෝ සමඟින්ය. එම දියණියන්ට අමතරව තවත් විවිධ සම්බන්ධතා හේතුවෙන් පුත්‍රයින් දෙදෙනෙකු සහ දියණියක් ද මැරඩෝනාට සිටී. මැරඩෝනා සෑම විටම ක්‍රීඩා ලෝලීන් අතර ජනප්‍රිය චරිතයක් වූ අතර ජනප්‍රිය වෙළඳ දැන්වීම් කිහිපයකටම මැරඩෝනා පෙනී සිට ඇත. මැරඩෝනා වෙනුවෙන් සැදූ ගීතද බොහෝ ප්‍රමාණයක් ඇත.

ආර්ජෙන්ටිනා ජාතික කණ්ඩායම වෙනුවෙන් තරඟ 91 කදී ගෝල 34 ක් ලබා ඇති ඩියේගෝ මැරඩෝනාට කිසිදු අවස්තාවක වසරේ හොඳම ක්‍රීඩකයාට පිරිනමන බැලෝන් ඩෝ’ර් සම්මානය දිනාගැනීමට නොහැකි වූයේ 1995 වසර තෙක් එය පිරිනැමුණේ යුරෝපයේ ක්‍රීඩා කරන යුරෝපා ක්‍රීඩකයින්ට පමණක් වීම නිසාය. වසර 20 කට වැඩි කාලයක් පාපන්දු ක්‍රීඩාව වෙනුවෙන් දැක්වූ දක්ෂතා වෙනුවෙන් 2000 වසරේ දී අන්තර්ජාතික පාපන්දු සංගමය (FIFA) විසින් “සියවසෙහි පාපන්දු ක්‍රීඩකයා” ලෙසින් බ්‍රසීලයේ පේලේ හා සම තැන මැරඩෝනාට ප්‍රදානය කරන ලදී.