කොවිඞ් 19 දෙවැනි රැල්ල ආරම්භ වන අවස්ථාවේ ජාතික රුධිර පාරවිලයන ඒකකය සතුව රුධිර සංචිත 13,000 ක් පමණ පැවති බවත් මේ වන විට එම සංචිත ප‍්‍රමාණය 5,500 ක් පමණ දක්වා අඩුවී ඇති බවත්යි ජාතික රුධිර පාරවිලයන ඒකකයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ මහතා පොලොන්නරුවේදී පැවසීය.
රුධිර සංචිත එසේ අවප‍්‍රමාණ වුවද කිසි ලෙසකින්වත් රෝගීන්ගේ රුධිර අවශ්‍යතාවය නවතා හෝ සපයා දීමේ

බැරිකමක් ඇතිවී නැතැයි ද ඒ මහතා කීය.
වෛද්‍ය ලක්‍ෂමන් එදිරිසිංහ මහතා මෙසේද කීය.

”බස්නාහිර පළාතේ දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය නිසා ජංගම රුධිර කඳවුරු සංවිධානය කිරීම ගැටලූවක්ව තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය රෙගුලාසිවලට අනුව මහජනයා ඒකරාශී කිරීම සීමා කරන්න සිද්ධ වෙලා තිබෙන නිසා අපි ඒ කටයුතු එම නීති රීතිවලට අනුව සිදු කරනු ලබනවා. 

ඒ නිසා අපි ප‍්‍රධාන වශයෙන්ම තීරණය කළා ජාතික රුධිර පාරවිලයන ඒකකය හැටියට රටේ කොවිඞ් අවදානම අඩු ප‍්‍රදේශවලදී සෞඛ්‍ය අමාත්‍යාංශයත්, වසංගත රෝග විද්‍යඥ ඒකකයත් නිකුත් කර තිබෙන එම සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව ඉතාමත් සීමිත කණ්ඩායම් සමඟ රුධිර කඳවුරු සංවිධානය කරලා එමගින් ජනතාවගේ අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා රුධිරය ඒකරාශී කරන්න. අද ඉඳලා ඉදිරි සතියක කාලයක් පුරා අපි පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ විශේෂයෙන්ම ආගමික ස්ථාන, බෞද්ධ පූජනීය ස්ථාන ආශි‍්‍රත කරගෙන රුධිර කඳවුරු මාලාවක් සංවිධානය කරනු ලබනවා. 

එහිදී සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කරමින්, කණ්ඩායම් සීමා සහිත ලෙස ගෙන්වා ගනිමින්, සමාජ දුරස්ථභාවය පවත්වා ගනිමින් විශේෂයෙන් කොවිඩ් ආශ්‍රිතයන් සහ රෝග ලක්‍ෂණ සහිත පුද්ගලයන් මඟ

හරිමින් ජාතික රුධිර අවශ්‍යතාව සම්පූර්ණ කර ගැනීම සඳහා රුධිරය සපයා ගැනීමට කටයුතු කරනවා. මේ වෙනකොට අපේ රුධිර සංචිත මට්ටම පහත වැටීමක් තිබෙනවා. නමුත් කිසි ලෙසකින් වත් රෝගීන්ගේ අවශ්‍යතාවය සඳහා වන රුධිරය අපි නවත්වලා නෑ. එහෙම නැතිනම් දෙන්න බැරිකමක් නෑ. නමුත් අපේ සංචිත අවප‍්‍රමාණය වීම නිසා විශේෂයෙන්ම රුධිර පට්ටිකා අවශ්‍යතාවය පවත්වාගෙන යෑම අවශ්‍යයි. රුධිර පට්ටිකා අපට තියාගන්න පුළුවන් වෙන්නේ දින 04 ක් පමණයි. 

දින හතරකට එහා තිබෙන රුධිර පට්ටිකා අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා අපට සැමවිටම අලූතින් රුධිරය ඒකරාශී කරගන්න අවශ්‍යයි. එම නිසා සෑම විටම ආරක්‍ෂාකාරීව ඒ කටයුත්ත තමයි අපි මේ අවස්ථාවේ සිදු කරමින් සිටින්නේ.”

කරුණාරත්න ගමගේ