රෝගය මර්දනය කළ හැකි එන්නතක් නිශ්චිතවම සොයා ගන්නා තුරූ කොවිඩ් 19 ආසාදිත පොකුරු නිර්මාණය වීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා ඉදිරි වසර දෙක තුනක් දක්වා මේ අවදානම පැවැතිය හැකි යැයි ජාතික විද්වත් සංවිධානයේ ප්‍රධාන ලේකම්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු කලාපීය උපදේශක, ප්‍රජා වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා 4 දා පැවැසීය.  ඔහු මෙසේ ද පැවැසීය.

“පසුගිය සති හතරේදී කොවිච් 19 වසංගතය පැතිරීම ඉතාම බරපතළ තත්වයකට පත්වෙලා තිබෙනවා. මාර්තු මාසයේ ඉඳලා රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් අඩුවෙලා නැවත ඉතා වේගයෙන් රෝගීන් වාර්තා වෙනවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තිබෙන තොරතුරු අනුව හෙළි වී තිබෙන්නේ මාර්තු, අප්‍රේල්ල කාලවල පැතිරුණු වයිරසයට වඩා වෙනත් ප්‍රභේදයකින් මෙය පැතිරී යන බවයි. වසංගතයේ මුල් කාලයේ ලෝකයේ කවුරුත් මේ වයිරසය ගැන දැනගෙන හිටියේ නැහැ. නමුත් ගෙවී ගිය කාලය තුළ විශාල අවබෝධයක් පර්යේෂණ මගින් ලබාගෙන තිබෙනවා.



ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සොයාගෙන තිබෙන කරුණු අනුව මේ වයිරස ප්‍රභේදය කලින් සොයාගෙන තිබුණු ප්‍රභේදවලට වඩා බෝවීමේ ප්‍රවණතාව සහ වයිරස සාන්ද්‍රණය ඉහළයි. ඒ නිසා වැඩි වශයෙන් පැතිරෙන්න ඉඩ තිබෙනවා. කොළඹ, මිනුවන්ගොඩ, පෑලියගොඩ, බේරුවල තත්වයන් අනුව පරේෂකයින්ගේ සොයා ගැනීම බොහෝ දුරට නිවැරැදි බව අපිට පැහැදිලි වෙනවා. මේ දැනුම අපිට මුලින් තිබුණේ නැහැ. රෝග වැළැක්වීමේ කටයුතුවලට මේ නව දැනුම වැදගත් වෙනවා.  අද වනවිට වැඩිපුර සාකච්ඡාවට ලක්වෙන්නේ වයිරසය සමාජගත වීම ගැන. සමාජගත වීම කියන්නේ මූලාශ්‍රය සොයාගන්න බැරි වුණු තත්වයක්. අපිට තියෙන අත්දැකීම් අනුව සියයට අනූපහකට වැඩි ප්‍රමාණයක මූලාශ්‍රය සොයාගන්න හැකි වී තිබෙනවා. නමුත් රෝග ලක්‍ෂණ නොමැති ආසාදිතයින් සමාජයේ සිටීමේ අනතුරක් තිබෙනවා. මේ වෙනුවෙන් ක්‍රියාමාර්ග අනුගමනය කිරීම අත්‍යවශ්‍යයි.



සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්න ඕනෑ මේ නිසා. අපේ රටේ හැකියාව අනුව ගැළැපෙනේ ඉලක්කගත කණ්ඩායම් සඳහා පී.සී.ආර්. පරික්‍ෂණ කිරීමයි. රෝහල, ප්‍රතිකාර මධ්‍යස්ථානවල, නිරෝධායන කඳවුරුවල ආසාදිතයින්ට ප්‍රතිකාර කරනවා.  තවත් අවුරුදු දෙක තුනක් මෙවැනි පොකුරු ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල සියලුදෙනාට අවශ්‍ය පුහුණුවීම් ලබාදීම, ජනතාවගේ චර්යාත්මක වෙනස්කම් කිරීම, දැනුවත් කිරීම සඳහා ක්‍රියා කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රමුඛ සියලුම අයගේ වගකීමක්. වසංගතය වළක්වා ගන්න ඍජු ක්‍රියාමාර්ග වගේම ජනතාවගේ සමාජයීය ආර්ථික ගැටලු පිළිබඳව අවධානය යොමු කිරීමට ඉක්මනින් නිශ්චිත ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යයි.

මේ වයිරසය පැතිරීම පිළිබඳව අපි  ලබාගත්ත දැනුම හැමදාම අලුත් වෙනවා. එන්නතක් නිශ්චිතවම සොයා ගන්නාතුරු සහ මිනිසාගේ ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය වනතුරු මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා අවුරුදු දෙක තුනකට අදාළව පොදු යාන්ත්‍රණයක් සකස් කරගන්න ජාතික ජන බලවේගය හැටියටත් ජාතික විද්වත් සංවිධානය හැටියටත් අපේ උපරිම සහයෝගය ලබාදෙන්න සූදානම්.“


 -මුදිතා දයානන්ද-