කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිට මේ වන විට නේවාසිකාගාර වලට නිරෝධායනය සඳහා යොමු කර සිටින තරුණ තරුණියන්ගේ මානසික සුවය සඳහා ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශිය සෞඛය සේවා කාර්යාලය මගින් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කොට ඇති  බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පවසයි.

එහි මුල් පියවර වශයෙන් අදාළ නේවාසිකාගාරවලට ගොස් පොලිසියේ ද ආරක්ෂාව ඇතිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පුළුල් තිර යොදා ජනප්‍රිය චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇති බ වෛද්‍ය මිගාර මහතා පැවසීය.

දින ගණන් සිරවී සිට මානසික ගැටලුවලට පවා මැදිවී සිටින මෙවැනි ආකාරයේ නිරෝධායනයකට යොමුව සිටින පිරිසකට මෙයින් මානසික සුවයක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද අධ්‍යක්ෂවරයා පැවසීය.


මේ වන විට කටුනායක ආයෝජන කලාපය තුළ පවත්වාගෙන යන කර්මාන්තශාලා වලින් පමණක් කොරෝනා ආසාදිතයත් 480 ක් සහ කලාපයෙන් පිටත පවත්වාගෙන යන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් නොවන ඇගළුම් කම්හල් වලින් කොවිඩ් 19 වෛරස ආසාදිතයන් 366 දෙනකු වාර්තා වී ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයත් වශයෙන් හඳුනා ගෙන සිටින විශාල පිරිසක් මේ වන විට තම නේවාසිකාගාර තුළම නිරෝධායනයට යොමු කර සිටින බවද අධ්‍යක්ෂවරයා අවධාරණය කර සිටියේය.

මෙම නේවාසිකාගාර අතරින් බහුතරයක සාමාජිකයන් 50 100 අතර නවාතැන් ගෙන සිටියත් ඔවුනට අවැසි අවම පහසුකම් වත් ලබා දී නොමැති බව ඒ පිළිබදව සොයා බැලීමේදී දැක ගත හැකි වූ බව සීදුව, කටුනායක පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේශ් කුමාර මහතා සඳහන් කර සිටියේය.

නිරෝධායන විය යුතු කාල සීමාව සාමාන්‍යයෙන් සති දෙකක පමණ කාල සීමාවක් වුවත් මෙම නේවාසිකාගාර වලින් විටින් විට කොරෝනා ආසාදිතයන් වාර්තා වීම නිසා මෙහි නිරෝධායනය වෙමින් සිටින අයගේ නිරෝධායනය වී සිටිය යුතු දින ගණන ද වැඩි වන බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පෙන්වා දුන්නේය.

මෙම ස්ථානවල පනහක් - සියයක් අතර පිරිසකට පොදු වැසිකිළි දෙකක්, දිය නෑමට ජල කරාම දෙකක් වැනි අවම සනීපාරක්ෂක පහසුකම් ලබාදී තිබීමත් එකිනෙකා අතර දුරස්ථභාවය රඳවා ගැනීමට පහසුකම් නැති වීමත් සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය නොකිරීමත් නිසා අද මේ තත්ත්වය උදා වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.