කොරෝනා වසංගතය පැතිර යාම වැළැක්වීමේ අරමුණින් තහනම් කෙරුණු උතුරු මුහුදේ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා සඳුදා (16) සිට නැවත අවසර ලබා දෙන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවැසීය. මෙම අවසරයත් සමගම ඉන්දීය ධීවරයන් සමග සබඳතා නොපවත්වා ධීවර කර්මාන්තයේ යෙදීමට ධීවර කාර්මිකයන් වග බලා ගත යුතු බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
උතුරු පළාතේ මුහුදේ සිදු කරන ධීවර කටයුතු බොහොමයක් මෙම වසංගත තත්වය සමග නවතා දැමීමට සිදු වූ බවත් මේ වනවිට සෑහෙන්න ප්‍රමාණයකට එම තත්වය පාලනය වී ඇති බවත් කී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර ලබා දෙන්නේ කොන්දේසි පිට බවත් කියා සිටියේය. එසේ කොන්දේසි සහිතව අවසර ලබා දෙන ලෙස උතුරු පළාතේ දිස්ත්‍රික්ක සියල්ලේ ධීවර සහකාර අධ්‍යක්ෂවරුන්ට උපදෙස් ලබා දුන් බව ද හෙතෙම කියා සිටියේය.කෙසේ වෙතත් බලපත්‍ර නිකුත් කරන්නේ කිමිදුම් ක්‍රම භාවිත කරමින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට පමණක් බවත් සිලින්ඩර් යොඳාගෙන ස්කූබා ඩයිවින්ග් ක්‍රමයට මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට අවසර නොදෙන බවත් අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් කොරෝනා වයිරසය පැතිරී යාම වැළැක්වීම සඳහා මුළු රට පුරා බහුතරයක් රෝගීන් හමුවන ප්‍රදේශ හුදකලා කිරීමට රජය ගෙන ඇති තීන්දුව ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශ වල ධීවර කර්මාන්තයේ නිරත වීමට අවසර ලබා දිය නොහැකි අතර උතුරු මුහුදේ ධීවර කර්මාන්තයට යම් ප්‍රමාණයක අවසර ලබා දී ඇති ස්ථාන වලද සෞඛ්‍ය නීතිරිති උපදෙස් පිළිපැදිය යුතු බවත් දේවානන්ද මහතා කියා සිටියේය.
-විනීතා එම්. ගමගේ-
0 Comments