කොවිඩ් ආසාදනය වී කන්දකාඩු රෝහලට ඇතුළත් කර සිටීමෙන් අනතුරුව සුවය ලැබීමෙන් පසුව නිවාසවලට ගෙන ගොස් හාරදීම සඳහා බස්රථයකින් ගම්පහ නගර සභා පිටියට ගෙන ආ පිරිසක් අතර සිටි බීමත් දෙදෙනකු ඔවුන් භාරව සිටි නිලධාරින්ට පහර දීමට තැත් කර පැන යාමට උත්සාහ කිරීමේ දී බලවත් පරිශ්‍රමයක් දරා එක් පුද්ගලයකු අල්ලාගත් බවත් අනෙක් පුද්ගලයා පැන ගිය බවත් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.බී. ගුණතිලක මහතා පැවැසීය.



පෑලියගොඩ, වත්තල, කඩුවෙල හා ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචි සුවය ලබා ඇති තිස්පදෙනකු පමණ පිරිසක් ඊයේ (9) සවස 4ට පමණ කන්දකාඩු රෝහලේ සිට බස්රථයකින් ගම්පහ නගර සභා පිටියට ගෙනැවිත් ගම්පහ ප්‍රදේශයේ පිරිස බිමට බස්සවා ඉතිරි පිරිස පිටත් කර යැවීමට සූදානම් වු අවස්ථාවේ ගම්පහට අදාළ නැති බීමත් දෙදෙනකු බස්රථයට නැගීම ප්‍රතික්ෙෂ්ප කර එහි සිටි නිලධාරින්ට පහරදීමට තැත් කර පැන ගිය බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයා කීය.


මේ අවස්ථාවේ එහි සිටි පොලිස් නිලධාරින් හා සෞඛ්‍ය අංශයේ නිලධාරින් මොවුන් දෙදෙනා පසුපස පන්නා ගොස් බලවත් පරිශ්‍රමයක් දරා එක් පුද්ගලයකු අල්ලාගත් බවත් අනෙක් පුද්ගලයා දුම්රිය මාර්ගය දිගේ පැනගිය බවත් ඒ මහතා පැවැසීය. පැනගියේ කඩුවෙල ප්‍රදේශයේ අයකු බවත් මොහු අල්ලා ගැනීම සඳහා පොලිස් නිලධාරින් හා සෞඛ්‍ය නිලධාරින් මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවත් ඔහු පැවැසීය. මොවුන් දෙදෙනා අධික ලෙස මත්පැන් පානය කර සිටි බවත් මොවුන්ට මත්පැන් ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව විධිමත් පරික්ෂණයක් පවත්වාගෙන යන බවත් ගම්පහ දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරයා වැඩිදුරටත් කීය.


 -ආනන්ද ඉ. ජයකොඩි-