සාමාන්‍ය සේවා යටතේ රියැදුරු බලපත් නිකුත් කරන තෙක් රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට ලබන සතියේ සිට සියලුම දිස්ත්‍රික් කාර්යාල වෙතින් තාවකාලික රියැදුරු බලපත්‍රයක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඊයේ පැවැසීය.


මෙතෙක් සාමාන්‍ය සේවා යටතේ රියැදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ට රියැදුරු බලපත්‍ර ලැබෙන තෙක් බලා සිටීමට සිදුවූ අතර එතෙක් වාහන පැදවීමට හැකියාවක් නොලැබෙන බවත් ඒ මහතා කීය.

නව ක්‍රමය යටතේ මාස 3 ක කාලයකට තාවකාලික බලපත්‍රය වලංගුවන අතර එමගින් රිය පැදවීමට හැකියාව  ලැබෙන බවද ඔහු කීය.

මේ අතර වාහනයක් විකිණීමේදී හෝ හුවමාරුවේදීන් වාහන පොත ලැබෙන තෙක් දිස්ත්‍රික් කාර්යාල වෙතින් සී. එම්.ටී. 7 පෝරමය නිකුත් කිරීම ප්‍රථම වරට ලබන සතියේ සිට සිදුවන බවද ඒ මහතා කීය. මෙම සී.එම්.ටී. 7 පෝරමය මෙතෙක් දිස්ත්‍රික් කාර්යාල වෙතින් නිකුත් නොවුන අතර නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් පොත එනතුරු බලාසිටීමට සිදුවූ බවද හෙතෙම සඳහන් කළේය.

- ජයන්ත සමරකෝන් -