වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පනහකට ආසන්න පිරිසකට කොරෝනා රෝගය ආසාදනය වී ඇතැයි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පැවැසීය. සෞඛ්‍ය කාර්ය මණ්ඩලචල
තුන්සීයකට ආසන්න පිරිසක් මේ වනවිට නිරෝධායනයට ලක්කර ඇතැයි ද රත්නප්‍රිය මහතා සඳහන් කළේය.

කොළඹ ජාතික රෝහල, කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කිහිපයකින්ම මෙම ආසාදිතයන් වාර්තා වී ඇතැයි ද ඔහු කීවේය. සෞඛ්‍ය කාර්යමණ්ඩල ආරක්ෂා කරගනිමින්, කොරෝනා වසංගතය මර්දනය කිරීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි ද හෙතෙම කියා සිටියේය.

කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර ලබාදෙමින් සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ, ප්‍රවාහන පහසුකම් සහ විවේකය ලබාදීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි ද රත්නප්‍රිය මහතා පැවසීය.

 -නිමල කොඩිතුවක්කු-