හෝටලයක සේවකයන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලබා හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලෙහි ප්‍රතිකාර ලැබූ පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වීම හේතුවෙන් හෙට්ටිපොළ පොලිසියේ නිලධාරින් සිවුදෙනකු සහ හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලෙහි හෙදියක සමගින් කාර්ය මණ්ඩලයේ දෙදෙනකු ඇතුළු 39 දෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි පඩුවස්නුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ ආරංචි මාර්ග පවසයි.
කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කියන මෙම පුද්ගලයා හතළිස් දෙහැවිරිදි අයකු වන අතර බෝගහවැව, නවගත්ෙත්ගම ප්‍රදේශයේ පදිංචි අයෙකි. මෙම පුද්ගලයා හෙට්ටිපොළ පොලිස් වසමෙහි බරම්පොළ ප්‍රදේශයේ හෝටලයක ආහාර පිසින්නකු ලෙස පසුගිය 19 වැනිදා දින රැකියාවට පැමිණ ඇති අතර පසුගිය 26 වැනි දින එම හෝටලයේ සේවය කරන සේවකයන් කිහිපදෙනකු සමග ගැටුමක් ඇති කරගෙන තිබේ.
26 වැනි දින සවස මෙම පුද්ගලයා හෙට්ටිපොළ පොලිසිය වෙත පැමිණ ගැටුම සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කර හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහල වෙත ගොස් නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ. තමාගේ හිස දැඩි ලෙස කකියන බවට මොහු ප්‍රකාශ කිරිම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා පසුගිය 26 වැනි දින හෙට්ටිපොළ ප්‍රාදේශීය රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත යවා ඇත. මොහු කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි නේවාසිකව දිනක් ප්‍රතිකාර ලබා ඇති අතර ගැටුමින් හිසට හානියක් සිදු නොවී ඇති බවට වෛද්‍යවරුන් කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වීම හේතුවෙන් පසුගිය 28 වැනි දින ඔහුව නිවස වෙත යවා තිබේ. රෝහලෙන් පිටව ගිය මෙම පුද්ගලයා බිංගිරිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අයත් හල්මිල්ලවැව ප්‍රදේශයෙහි ඥාතියකුගේ නිවසෙහි නවාතැන් ගෙන තිබේ.
පසුගිය 30 වැනි දින මොහු රැකියාව කරනු ලැබූ බරම්පොළ ප්‍රදේශයේ හෝටලය වෙත පැමිණ එහි තිබූ ඔහුගේ බඩු බාහිරාදිය රැගෙන නැවතත් හල්මිල්ලවැව ප්‍රදේශයේ සිය ඥාතියාගේ නිවසට ගොස් ඇත. ඥාතියාගේ නිවසේ සිටියදී මෙම පුද්ගලයා නැවතත් රෝගාතුර වීම හේතුවෙන් ඉකුත් 30 වැනි දින හලාවත මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එම රෝහලේදී මෙම පුද්ගලයාගේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කර ඇති අතර එහිදී මොහුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇත.
මෙම ආසාදිතයා රැකියාව කරනු ලැබූ හෝටලයෙහි සේවකයන් සහ එම හෝටලයෙහි හිමිකරු සහ ඔහුගේ පවුලේ සියලුම දෙනාත් සබඳතා පවත්වන්නට ඇති බවට හඳුනාගත් පවුල් අටක පුද්ගලයන් තිස්නවදෙනකුන් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවට සෞඛ්‍ය ආරංචි මාර්ග පැවැසිය. ආසාදිතයා සමග සබඳතා පැවැත්වූ බවට තහවුරු කෙරෙන සියලුම පුද්ගලයන් වාසය කරනු ලැබූ ප්‍රදේශයන්හි ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල දැනුවත් කිරිමට පඬුවස්නුවර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පියවර ගත් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.
-ධම්මිකා බාලසූරිය-
0 Comments