හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයෙන් මේ වනවිට මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත කොරෝනා රෝගීන් රැසක් වාර්තා වීම නිසා පසුගිය මස 17 වෙනිදායින් පසු හොරණ සහ තදාසන්න ප්‍රදේශවල මාළු වෙළෙඳුන්ගෙන් මාළු මිලදී ගත් පාරිභෝගිකයන් නොපමාව ඉදිරිපත් වන්නැයි හොරණ ප්‍රධාන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක චන්දන සේනාරත්න මහතා ඉල්ලීමක් කරයි.


ප්‍රදේශයේ මහජනතාවගේ සෞඛ්‍යාරක්‍ෂව තහවුරු කිරීම වෙනුවෙන් මෙම තොරතුරු ඉතා වැදගත් බවත්, කොට්ඨාසය භාර මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරයාට හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට හෝ හොරණ නගර සභාවේ සෞඛ්‍ය අංශයට එම තොරතුරු නොපමාව දැනුම් දෙන මෙන් හෙතෙම ඉල්ලා සිටියි.

මේ වන විටත් මත්ස්‍ය වෙළඳාමට සම්බන්ධ වූ ව්‍යාපාරිකයන්, රියැදුරන්, සේවකයන් සහ මාළු මිලදීගත්පා රිභෝගිකයන් රැසකගේ පීසීආර් පරීක්‍ෂණ සඳහා ජෛව සාම්පල් යොමුකර ඇති බවද, එම ප්‍රතිඵල ඉදිරි දිනවල ලැබීමට නියමිත බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

 - මංගල එදිරිසිංහ -