අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයකු රෝහලින් පැනයාමට තැත් කළ අවස්ථාවේ රෝහල් ආරක්ෂක අංශය මගින් අත්අඩංගුවට ගත් බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තරුණයකු බවත් ඔහු මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින පුද්ගලයකු බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.


මොහු පෙරේදා සවස 6.30 ට පමණ රෝහලේ වහලයට නැග පැනයාමට උත්සාහ කිරීමේ දී රෝහල් ආරක්ෂක අංශය දැක ඔහු අල්ලා ගනු ලැබීය. මෙම පුද්ගලයා සෞඛ්‍යාරක්ෂිතව ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කළ බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත පුද්ගලයන් කිහිප දෙනකුම ගත වූ කාලය තුළ පැන ගොස් සිටි අතර ඔවුන් සියලු දෙනාම මත්ද්‍රව්‍ය ලෝලීන් බවද පොලිසිය කියයි.

මෙසේ පැන ගිය අය සෞඛ්‍ය අංශ හා පොලිසිය එක්ව මහත් පරිශ්‍රමයක් යොදා යළි අත්අඩංගුවට ගනු ලැබූහ.

පසුගියදා 25 හැවිරිදි මවක් ද සිය දෙහැවිරිදි දරුවා සමග රෝහලින් පැන ගොස් තිබූ අතර ඇය දින තුනකට පසුව ඇහැලියගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගනු ලැබුවාය.

කොවිඩ් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර සදහා යොමුකර සිටියදී පැනයන රෝගීන් බොහොමයක් දෙනා මක්කුඩු ලෝලීන් බවත් එබැවින් කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් මත්ද්‍රව්‍යවලට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳව ඉදිරියේදී විශේෂිත ක්‍රම උපායන් යටතේ කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකු කොවිඩ් ආසාදිතයකු වුවහොත් ඔහු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙස අජිත් රෝහණ මහතා එවැනි අයගේ ඥාතීන්ගෙන් ඉල්ලීමක් කරයි.
- ඉන්දිකා රාමනායක -