මිලියන සංඛ්‍යාත ඉන්දියානුවන් පිරිසිදු ජලය සඳහා සීමිත ප්‍රවේශයක්, අපිරිසිදු ආහාර පරිභෝජනයක්, අපිරිසිදු වාතය ආශ්වාස කිරීමක් සහ අධික ජනාකීර්ණ වටපිටාවක් සහිතව ජීවත්වීම සැබෑවකි. එහිදී පර්යේෂකයන් සොයාගෙන ඇත්තේ මෙය හෘද හා නිදන්ගත ශ්වසන රෝග, පිළිකා සහ දියවැඩියාව වැනි බෝනොවන රෝග රැසකට ගොදුරු විය හැකි තත්ත්වයන් බවය. එරට රජයේ වාර්තාවකට අනුව ඉහත දැක්වූ කරුණු එරට ජනතාවට වැලදෙන රෝගයන්ට සැලකිය යුතු දායකත්වයක් සපයන බව කියයි. උදාහරණයක් ලෙස වායු දූෂණයෙන් පමණක් සෑම වසරකම ඉන්දියානුවන් මිලියනයකට වඩා ජීවිතක්ෂයට පත්වෙයි. 

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ COVID-19 වසංගතයට එරෙහිව සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා පිරිසිදු ජලය, සනීපාරක්ෂාව සහ සමාජ දුරස්ථභාවය

රැකිය හැකි සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක් අත්‍යවශ්‍ය බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් එක්ව කරන ලද අධ්‍යයනයකින් හෙළිව තිබුණේ, බිලියන තුනකට ආසන්න ජනතාවක්, එනම් ගෝලීය ජනගහනයෙන් 40%ක් පමණ සහ සම්පුර්ණයෙන්ම පාහේ සංවර්ධනය වෙමින් පවතින රටවල ජීවත් වන ජනතාවට මූලික අත් සේදීමේ පහසුකම්වත් නොමැති බවය. ඒ අනුව නව කොරෝනා වෛරසය එම රටවල ජනගහනය අතුගා දමනු ඇති අතර, ඉන්දියාව වැනි රටවල මිලියන ගණනකගේ මරණ සඳහා වසංගතය හේතු වනු ඇතැයි යන කනස්සල්ල ඇති කිරීමට මෙයම ප්‍රමාණවත් විය.

"සාමාන්‍යයෙන් සෞඛ්‍ය පහසුකම්, සනීපාරක්ෂාව සහ සනීපාරක්ෂාව සඳහා ප්‍රවේශය මේ රටවල බොහොම දුප්පත්. ඒ නිසාම බොහෝවිට ඒවායෙහි බෝවන රෝග ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව පිළිගැනීමයි.

මේ තත්ත්වය තුළ  COVID-19 වසංගතය විසින් පහළ හා අඩු මධ්‍යම ආදායම් ලබන රටවල අඩු හා අවම මට්ටමේ විනාශකාර ප්‍රතිවිපාක ඇති කරනු ඇතැයි බලාපොරොත්තු වුණේ නැහැ. බලාපොරොත්තු වූයේ මරණ වැඩිවීමක්ම පමණයි." විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ කවුන්සිලයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශෙබර් මැන්ඩේ පැවසීය. 

නමුත් අද වනවිට ලෝක ජනගහනයෙන් හයෙන් එකක් සහ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගෙන් හයෙන් එකක් ඉන්දියාවේ ජීවත් වෙති. කෙසේ වෙතත්, ඉන්දියාව ලෝකයේ COVID-19 වෛරසයෙන් සිදුවන මරණවලින් 10%කට පමණක් වගකියන අතර, COVID-19 රෝගීන් අතර මරණ අනුපාතය මැන බැලෙන එහි මරණ අනුපාතය හෙවත් CFR අගය 2%කට වඩා අඩුවෙන් පවත්වාගෙන යන්නේ, ලෝකයේ අඩුම

මරණ අනුපාතයක් වාර්තා කරමිනි. 

මේ තත්ත්වය තුළ ඉන්දියානු විද්‍යාඥයන්ගේ නව පර්යේෂණයට අනුව, අඩු සනීපාරක්ෂාව, පිරිසිදු පානීය ජලය නොමැතිකම සහ අපිරිසිදු තත්ත්වයන් නිසා බොහෝ දෙනෙකු COVID-19 වසංගතයෙන් ජීවිත බේරාගන ඇති බව පැහැදිලි කෙරෙමින් පවතී. මෙය තවදුරටත් පැහැදිලි කරන්නේ නම්, පහළ හා අඩු මධ්‍යම ආදායම් ලබන රටවල වෙසෙන ජනතාවට කුඩා කාලයේ සිටම විවිධ රෝග කාරකවලට නිරාවරණය වීම නිසා ආසාදනයේ දරුණු ස්වරූපයන් වළක්වා ගැනීමට හැකිවී ඇතැයි ඔවුන් යෝජනා කරයි. එනම් ඔවුන් දියුණු හා ඉහළ ආදායම් ලබන රටවල ජනතාවට වඩා වෛරසයට වැඩි ප්‍රතිශක්තීකරණයක් පෙන්වීමකි. එහිදී මාරාන්තික අනුපාත සංසන්දනය කිරීම සඳහා ජනගහනයෙන් මිලියනයකට සිදුවන මරණ විමසා බැලීමක් මෙම පර්යේෂණයන්හිදී සිදුකර ඇත. කෙසේ වෙතත් මෙම පර්යේෂණයන් මෙතෙක් ස්වාධීන සමාලෝචනයකට ලක්ව නොමැති බැවින් මෙය තවදුරටත් පර්යේෂණයට ලක්කළ යුතු මාතෘකාවකි. නමුත් දැනට පෙනෙන්නට තිබෙන තත්ත්වයන් සලකා බැලීමේදී එහි යම් සත්‍යතාවක් පවතින බවද විදෙස් වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.


- නරේන් විශ්වජිත් -