නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වෛරසය 2019 සැප්තැම්බර් මාසයේ සිටම ඉතාලියේ සංසරණය වෙමින් පැවති බව ඉතාලියේ මිලාන් නගරයේ ජාතික පිළිකා ආයතනය (INT) විසින් සිදු කරන ලද නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

ඒ අනුව මෙතෙක් අනුමාන කළ කාලයට වඩා බොහෝ කාලයකට පෙර, චීනයෙන් පිටත COVID-19 වෛරසය පැතිර තිබූ බවට මෙය තවත් සුවිශේෂී සාක්ෂියක් බව රොයිටර් පුවත් සේවය අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර පවසා තිබුණේ,
2019 දෙසැම්බර් මාසයේදී මධ්‍යම චීනයේ වුහාන් නුවරදී මෙම රෝගය ප්‍රථම වරට වාර්තා වීමට පෙර නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 යන ශ්වසන රෝගය පිළිබඳ කරුණු දැන නොසිටි බවය. කෙසේ වෙතත් ඉතාලියේ පළමු වැනි COVID-19 රෝගියා පෙබරවාරි 21වැනි දින ලොම්බාර්ඩ්හි උතුරු කලාපයේ මිලාන් අසල කුඩා නගරයකදී මුලින්ම අනාවරණය වුණත්, මෙම නව අධ්‍යයනයට අනුව ඊට බොහෝ කලකට පෙර සිටම ඉතාලිය තුළ වෛරසය සංසරණය වෙමින් පැවතී ඇති බව හෙළි වෙයි.

ඒ අනුව මිලාන් නගරයේ ජාතික පිළිකා ආයතනය විද්‍යාත්මක සඟරාවක් වන ටුමෝර් ජර්නලය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉතාලි පර්යේෂකයන්ගේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ,2019 සැප්තැම්බර් සිට 2020 මාර්තු දක්වා කාලය තුළ පෙණහලු පිළිකා පරීක්ෂාවකට ස්වෙච්ඡාවෙන් සම්බන්ධ වූවන් 959 දෙනෙකුගෙන් 11.6%ක්ම පෙබරවාරි මාසයට පෙර කොරෝනා වෛරස ප්‍රතිදේහ නිපදවා ඇති බවය.

ඉතාලියේ පූර්ව වසංගත කාල පරිච්ඡේදයේදී SARS-CoV-2ප්‍රතිදේහ අනපේක්ෂිත ලෙස අනාවරණය කර ගැනීම” යන මාතෘකාව යටතේ තවත් නිශ්චිත SARS-Cov-2 ප්‍රතිදේහ පරීක්ෂණයක් සියෙනා විශ්ව විද්‍යාලය විසින්ද සිදු කර තිබේ.

ඊට අනුව, වයිරසය උදාසීන කෙරෙන ප්‍රතිදේහ සඳහා 2019 ඔක්තෝබර් පළමු වැනි සතිය දක්වා වු අවස්ථා හතරකදී ධනාත්මක බව පෙන්නුම් කර තිබී ඇත. එනම් 2019 සැප්තැම්බර් මාසයේදී ඔවුන්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අධ්‍යයනයේ සම කතෘ ජියෝවානි අපොලෝන් රොයිටර් පුවත් සේවයට පැවසීය.


"මෙය අතිශය ප්‍රධාන සොයා ගැනීමක්. මන්දයත්, කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති පුද්ගලයන් පවා ශරීරයේ ප්‍රතිදේහ පිළිබඳ සිදු කරන රුධිර (සෙරොලොජිකල්) පරීක්ෂණවලින් පසුව ධනාත්මක බව සොයාගත්තා පමණක් නොවෙයි, වෛරසය විනාශ කිරීමට ප්‍රතිදේහද නිපදවා ඇති බව අනාවරණය වූවා” අපොලෝන් සඳහන් කළේය.

"එහි අර්ථය වන්නේ නව කොරෝනා වෛරසය ජනතාව අතර දිගු කලක් හා අඩු මාරාන්තික අනුපාතයකින් සංසරණය වී ඇති බවයි. ඒ අනුව සිදුව ඇත්තේ වෛරසය අතුරුදන් වීමක් නොවෙයි, නැවත නැගී සිටීමක් පමණයි." අපොලෝන් වැඩිදුරටත් පැවසීය.

ඉතාලි පර්යේෂකයන් පසුගිය මාර්තු මාසයේදී රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ 2019 අවසාන කාර්තුවේදී ලොම්බාර්ඩ්හි දරුණු නියුමෝනියාව හා උණ රෝගීන් සංඛ්‍යාවක් වාර්ත වී ඇති බවය.

මෙම නව අධ්‍යයනයන් අනුව පැහැදිලි වන්නේ, නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 කලින් අනුමාන කළ කාලයට වඩා බොහෝ කාලයකට පෙර වෛරසය එම කාලපයේ සංසරණය වන්නට ඇති බවට සංඥාවකි.

- නරේන් විශ්වජිත් -