16 හැවිරිදි ජපන් ජාතික තරුණියක් ලංකාවට පැහැරගෙන විත් රඳවා තබාගෙන සිටියේ යැයි පැහැරගෙන
යෑම, අපහරණය, ස්ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 3ක් යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ඇයගේ පෙම්වතා  ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා ඊයේ (26දා) නියෝග කළේය.
 



මොවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට මත්තෙන් භෂා පරිවර්තකයකු මාර්ගයෙන් ජපන් තරුණියගේ ප්‍රකාශයක්
පොලිසිය මඟින් සටහන් කර ගෙන තිබිණි. ඒ අවස්ථාවට ජපන් තානාපති කාර්යාලයේ නිලධාරීන්ද සහභාගි වී ඇත.

තම දියණිය කොච්චිකඩේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව
ජපානයේ සිටින ජපන් ජාතික තරුණියගේ
මව දැනගෙන තිබිණි. එහෙත් කොරෝනා වසංගතය  නිසා ඇයට මෙරටට පැමිණීමට කිසියම් බාධාවක්
ඇතැයිද පොලිසිය කීය. ඊයේ වනතුරුත් ඇය මෙරටට පැමිණෙන බවට තහවුරු කළ හැකි තොරතුරක් පොලිසිය
වෙත ලැබී තිබුණේ නැත.

ජපන් තරුණිය ජපානයේ සිට සිය පෙම්වතා සමඟ මෙරටට එද්දී ඇගේ වයස අවුරුදු 15ක් හා මාස 6කි.
එහෙත් මේ වන විට ඇගේ වයස අවුරුදු 16යි. මාස දෙකකි.

මෙම තරුණයා ජපන් භාෂාව කතා කිරීමේ හැකියාව ඇති අයෙකි. ඔහු මෙරටදී ජපන් භාෂාව පිළිබඳ
පන්තියකට ගොස් ඇති අතර එහිදී ජපන් භාෂාව හදාරා තිබේ. පසුව 2016-7-7 දින මොහු මෙරටින්
ජපානය බලා ගොස් ඇත. ඒ ශිෂ්‍ය වීසා බලපත්‍රයක් මතය. ජපානයට ගිය ඔහු ජපානයේ සයිටමා
ප්‍රාන්තයේ තෝවාන් පාසලේදී වසරකට වැඩි කාලයක් අධ්‍යාපනය ලබා ඇති අතර පසුව ඉන් ඉවත්ව
ජපන් මෑන් පවර් ආයතනයකට ඇතුළු වී සේවය කර තිබේ. එම ආයතනයේ හිමිකාරිය හා ඇගේ දියණිය සමඟ
හිතවත් සිටි මොහු පසුව 2019 වසරේදී ජපන් දියණිය සමඟ පෙමින් වෙළී තිබේ.

දෙදෙනාගේ ප්‍රේම සබඳතාව ජපන් මව දැන ගැනීමත් සමඟ මුලින් ඇය ඊට එකඟ වුවත් පසුකාලීනව ඇය
මෙම ප්‍රේම සබඳතාවට විරුද්ධ වී දියණියට එම සබඳතාව නතර කරන ලෙසට උපදෙස් දී ඇත. පසුව
ඇයට පහරදී තිබේ.

මින් අපහසුතාවට පත් ඇය මේ බව ශ්‍රී  ලාංකික පෙම්වතාට පැවැසීමෙන් අනතුරුව දෙදෙනා ගුවන් මඟින්
මෙරටට පැමිණ තිබේ.


කටුනායක ගුවන් තොටුපොළේදී මොවුන් තානාපති කාර්යාල හා පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට
ගෙන ඇති අතර එහිදී ජපන් දියණිය නිලධාරීන්ට පවසා ඇත්තේ පෙම්වතා දමා පැමිණි නොහැකි බවකි. පසුව
තානාපති නිලධාරිනියන්ගේ මැදිහත්වීම මත ජපන් තරුණිය හෝටලයක නතර කර ඇති අතර පසුව ශ්‍රී
 ලාංකික පෙම්වතා ඇය රැගෙන පලාගොස් මාස 7ක් තිස්සේම සැඟවී සිට ඇත. ඔවුන් පොලිස් අත්අඩංගුවට
පත් වන්නේ ඉන් අනතුරුවය. ඒ වන විට ඇය සය මස් ගැබිනියකි.

ෆ්ලෝරා නමැති ජපන් ජාතික තරුණිය (16) රැගෙන විත් තිබුනේ කසුන් මධුශංක නමැති පලඟතුරේ, දළුකොටුව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. ඇය රඳවා තබාගැනීමට ආධාර අනුබල දීම
සම්බන්ධයෙන් මවක සහ ඇගේ පුත්‍රයා අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර ඔවුන් දෙදෙනා දස දහසක
මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහරින ලෙස අතිරේක  මහෙස්ත්‍රාත්වරයා නියෝග
කළේය.

ඊට අමතරව 16 හැවිරිදි ජපන් ජාතික තරුණිය මොරටුව, ලුනාව ප්‍රදේශයේ පිහිටි පරිවාස නිවාසය
භාරයට පත්කරන ලෙසද අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මීගමුව පොලිසිය මේ ගැන විමර්ශන පවත්වයි.

කීර්ති මෙන්ඩිස්, නිමන්ති ප්‍රනාන්දු