ජෝර්දානයේ ඇගලුම් කම්හලක සේවයේ නියුතුව සිටි වේයන්ගොඩ තරුණයකු කොරෝනා ආසාදිතව මියගොස් ඇති අතර එම ආයතනයේ විශාල පිරිසක් රෝගීව මෙන්ම අසරණව සිටින බව දැනුම් දී ඇතැයි මියගිය අයගේ ඥාතීහු කියති.
වසරකුත් මාස අටකට ඉහතදී රැකියාවට ගිය වේයන්ගොඩ වදුරව පදිංචිව සිටි සම්ත්ප හංසක සිරිවර්ධන 38 අවිවාහක තරුණයා මෙසේ මියගොස් ඇති බව පවුලේ ඥාතීන් වෙත දන්වා ඇත.

ජෝර්දානයේ Clasic papuwa නැමති ඇඟලුම් ආයතනයේ සේවය කළ මියගිය තරුණයා සමග තවත් දෙදෙනෙකු කොරෝනා ආසාදිතව කාලය ගතකර ඇතැයි ද එම ඇඟලුම් ආයතනයේ සේවය කරන ශ්‍රී ලාංකික පිරිස් මේ වනවිට කර කියාගත දෙයක් නොමැතිව සිටිනා බව දන්වා ඇති බවද මියගිය අයගේ පවුලේ ඥාතීහු සඳහන් කරති.  මෙම තරුණයාගේ මරණය දින තුනකට පෙර දී සිදුවී ඇති බවට දැනගන්නට ලැබී ඇතැයිද ඔවුහු කියති.  මෙම සේවක පිරිස් විදේශ ගත කිරීමට මුල් වූ ශ්‍රී ලංකාවේ ඒජන්සිය ද මේ වනවිට ක්‍රියාත්මක  නොවන තත්වයක් මත එරට අසරණව සිටින පිරිස් කැඳවාගෙන ඒම හා හෝ රැකවරණ සැලසීමට වගකිවයුත්තන් වහා පියවර ගත යුතු බවද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


 -පුෂ්පකුමාර මල්ලවආරච්චි-