ලංකාවේ ප්‍රථම වරට වොට් 140ක අධිබලැති ලේසර් කිරණ මාර්ගයෙන් පුද්ගලයෙකුගේ දකුණු පැත්තේ වකුගඩුවේ තිබූ සෙන්ටි මීටර් 4ක් පමණ විශාල ගලක් මිලිමීටර් 4ක පමණ ඉතා කුඩා සිදුරකින් ඉවත් කිරීම කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමක් විසින් ඊයේ 18දා ඉතා සාර්ථකව සිදු කරන ලදී.

මෙම ශල්‍යකර්මයට භාජන වූ පුද්ගලයා කළුතර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක පුද්ගලයෙකි.


මීට වසර 8කට පමණ ඉහත දී මෙම රෝගියාගේ දකුණු පැත්තේ වකුගඩුවේම ගලක් ශල්‍යකර්මයකින් ඉවත් කර තිබූ අතර, ඒ සඳහා අඟල් 8ක් පමණ විශාල කැපුමක් යොදා තිබිණි. නමුත් වසර 8කට පසු එම රෝගියාට නැවත වරක් දකුණු පැත්තේ වකුගඩුවේම සෙන්ට් මීටර් 4ක ප්‍රමාණයේ සංකීර්ණ (staghorn) ස්ටැජ්හොන් ගලක් නැවත ඇති වී තිබිණි. රෝගියා එම ගල හේතුවෙන් නිරතුරුවම දකුණු පස ඇලපත ප්‍රදේශයේ වේදනාවකින් පෙලී තිබුණු අතර, ඔහුට වරින් වර අවපැහැයෙන් මුත්‍රා පිට වී තිබුණි.

ඒ හේතුවෙන් එම රෝගියා කළුතර නාගොඩ මහ රෝහලේ ජන්‍ය මෞත්‍රික ශල්‍ය සායනයට පැමිණ ඇති අතර, එහිදී විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම එම රෝගියාගේ රෝග ඉතිහාසය ලබාගෙන එම රෝගියා සී.ටී. ස්කෑන් පරීක්ෂණයකට ලක්කර තිබිණි.

එහිදී දකුණු වකුගඩුවේ ගලක් තිබෙන බවට හෙළි වී ඇති අතර, එමගින් වකුගඩුවට වූ හානියද පැහැදිලිව පෙනී තිබිණි.

එම ශල්‍යකර්මය සම්බන්ධයෙන් අදහස් දැවූ කළුතර නාගොඩ මහ රෝහලේ වකුගඩු හා මාතෘෘ ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා මෙසේ පැවසීය.

"කලින් වතාවේ උදරයේ විශාල කැපුමකින් ශල්‍යකර්මයක් කර තිබූ නිසා එම රෝගියාට ගැලපෙන්නෙ p c n l ශල්‍යකර්මයක් බව අපි තීරණය කළා.

අපි එහිදී ඉතාම සියුම් ආකාරයෙන් එක්ස් කිරණ යොදා ගෙන ඉඳිකටුවක් එම හම හරහා වකුගඩුව වෙත ඇතුළු කළා. එක්ස් කිරණ ආධාරයෙන් එම ඉඳිකටුව ගමන්ගත් මාර්ගය හරහා මිලිමීටර් 4ක පමණ විෂ්කම්භයකින් යුතු ඉතා කුඩා බටයක් වකුගඩු තුළට යොමු කරනු ලැබුවා.

ඊට පසුව එම බටය තුළින් ඉතා කුඩා (nephroscope) කැමරාවක් සහිත උපකරණයක් යොමු කර ගල නිරීක්ෂණය කරමින් අධිබලැති ලේසර් කිරණ මගින් සෙන්ටි මීටර 4ක විශාල ගලක් ඉතා සියුම් ධූලි අංශු බවට පත් කළා. එම අංශු සියල්ලම ඉහත බටය.
ආධාරයෙන් නිරීක්ෂණය කරමින් පිටතට ගත්තා.

මෙම ශල්‍යකර්මය සඳහා වැය වුණේ පැය එකහමාරක් වැනි ඉතාම සුළු කාලයක්. යම් පුද්ගලයෙකුගේ වකුගඩුවේ ගල් පැමිණියහොත් පෙර පරිදි කපා ඉවත් කරන්න අවශ්‍ය නැහැ. එහෙම ශල්‍යකර්මය කළත් නැවත ආයෙත් ගල් එන්න පුළුවන්. ඒ වගේම මෙම ශල්‍යකර්මයට ලක් කළ පුද්ගලයාට දින තුන හතරක් තුළදී තම සුපුරුදු කාර්යයන් සඳහා යොමුවන්න පුළුවන්. අතුරු ආබාධ නැහැ, පෙර වගේ ශල්‍යකර්ම සිදුකළොත් ඔහුට සති තුන හතරක් යන්න පුළුවන් සුපුරුදු කාර්යයන් සඳහා යොමු වෙන්න. නමුත් ඔහුට එම කාලය තුළ බර වැඩ කරන්නත් හොඳ නැහැ.

මෙම ශල්‍යකර්මය ඉතාම සාර්ථක ශල්‍යකර්මයක් බව කියන්න පුළුවන්. මෙම ශල්‍යකර්මය සඳහා කළුතර නාගොඩ මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය එරන්ජිකා කුලතිලක මහත්මිය ප්‍රමුඛ නිර්වින්දන කණ්ඩායමක්, වකුගඩු හා මෞත්‍ර ලිංගික ශල්‍ය ඒකකයේ සියලුම වෛද්‍යවරු, ශල්‍යාගාරයේ " ඩී " හෙද සොහොයුරිය, හෙද නිලධාරීන්, විකිරණ ශිල්පීන්, සෙසු කාර්යමණ්ඩලය යුහුසුලුව දායක වුණා."

කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා මෙසේ පැවසීය.

"සුවිශේෂී ශල්‍යකර්මයක් බව කියන්න පුළුවන්. කළුතර නාගොඩ මහ රෝහලට වගේම සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයට අභිමානයක් ගෙන දුන් එම ශල්‍යකර්මය සිදුකළ වකුගඩු හා මෞත්‍ර ලිංගික විශේෂඥ වෛද්‍ය කලන පල්ලියගුරුගේ මහතා ප්‍රමුඛ වෛද්‍ය කණ්ඩායමට මාගේ මෙන්ම නාගොඩ මහරෝහලේ වෛද්‍යවරු ඇතුළු සෙසු කාර්යමණ්ඩලයේ සුභාශිංසනය පිරිනමනවා."
- බිමල් ශ්‍යාමන් ජයසිංහ -