ඇමෙරිකා එක්සත් ජනපදයේ මීළඟ උපජනාධිපතිනිය ලෙස තේරීපත්ව සිටින සෙනෙට් සභික කමලා හැරිස්ගේ ස්වාමියා වන ඩග්ලස් එම්හොෆ් මෙතෙක් රැකියාව කළ නීතීඥ සමාගමෙන් ඉවත්ව ඇතැයි වාර්තා වෙයි.


ඉදිරියේදී ධවල මන්දිරයේ රැකියාවක් සඳහා යාමට ගත් තීරණය අනුව ඔහු මෙලෙස රැකියාවෙන් ඉවත්ව තිබේ.

56 හැවිරිදි ඩග්ලස් එරට DLA Piper නම් නීතීඥ සමාගම යටතේ සේවය කරමින් සිටියේය. එම සමාගම මාධ්‍ය, ක්‍රීඩා සහ විනෝදාස්වාදන ක්ෂේත්‍රයන් තුළ බුද්ධිමය දේපළ හිමිකම සහ තාක්ෂණය ඇතුළු කරුණු පිළිබඳ නීතිමය කටයුතු කරන බව එම සමාගමේ වෙබ් අඩවියේ සඳහන් වෙයි.

එක්සත් ජනපද ජනාධිපතිවරණයේ මෙතෙක් නිකුත්ව ඇති ප්‍රතිඵලවලට අනුව ඔහු එරට දෙවැනි පුද්ගලයා (උප ජනපතිනියගේ ස්වාමි) බවට පත්වීම පිළිබඳව මාධ්‍ය සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදී ඇති ඩග්ලස් එය ඉතාමත් ඉහළ ගෞරවයක් බවත්, ඉදිරියේදී ඇමෙරිකානු සිහිනය වෙනුවෙන් කටයුතු කරන බවත් පවසා තිබේ. එක්සත් ජනපදයේ මීළඟ ජනපතිවරයා ලෙස තේරීපත්ව සිටින බයිඩන් ලබන වසරේ ජනවාරි 20දා සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඩග්ලස් එම්හොෆ් එරට ඉතිහාසයේ පළමු වැනි 'දෙවැනි පුද්ගලයා' බවට පත්වීමට නියමිතව ඇත.