බස්නාහිර පළාතට ඇඳිරිනීතිය ප්‍රකාශ කිරීමත් සමග කතරගම ප්‍රදේශයට පිට ප්‍රදේශයන්හි සිට පැමිණ නවාතැන් ගෙන සිටි 70 දෙනකු පමණ දින 14 ක කාලයක් නිරෝධායනයට ලක්කර ඇති බව කතරගම  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි. මෙම පිරිස් කතරගම ප්‍රදේශයේ විශ්‍රාමශාලා තුළ
සහ විවිධ සම්බන්ධතා ඇති නිවෙස් තුළ පසුවන බවට ලද තොරතුරු මත ඔවුන් සොයාගොස් එම ස්ථානයන්හිම නිරෝධායනයට ලක්කළ බවත්, එම පිරිස් කොළඹ, ගම්පහ වැනි ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට අනාවරණය වූ බවත් කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන්  දිසානායක මහතා පැවසීය.


මීට අමතරව විවිධ ප්‍රදේශයන් වෙත වෙළඳාම් කටයුතු සහ විවිධ අවශ්‍යතා සඳහා ගොස් පැමිණ ඇති සහ විවිධ පුද්ගලයින් ඇසුරු කළ 54 දෙනෙකු නිරෝධායන කාලසීමාව අවසන් කිරිමෙන් අනතුරුව කොන්දේසි මත නිදහස්කර ඇති බවද කීය. මෙම අවස්ථාව ඉතාම අවදානම් කාලපරිච්ඡේදයක් බැවින් තමන්, තම පවුලේ අය මෙන්ම ජනසමාජයද ආරක්ෂා කර ගැනීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් නිවසින් බැහැර ගමන් බිමන් අඩු කොට නිවසේම රැඳී සිටින ලෙසද ඒ මහතා කාරුණික ඉල්ලීමක් කරයි.