කෑගල්ල , කරඩු ෙපාන ප්‍රදේශයේ එකම පවුලේ සිවුදෙනෙකුට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.  කෝවිඩ්-19 වෛරසය ආසාදනය වූ එම පවුලේ පියා මත්ස්‍ය වෙළෙන්දෙකු වන අතර, ඔහු පෑලියගොඩ කෝවිඩ් පොකුරේ ආශ්‍රිතයෙකු වේ.
එම පියාට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් පවුලේ අනෙක් සාමාජිකයන්ටද පී.සී.ආර්. පක්ෂණ සිදු කර තිබේ. ඒ අනුව පසුගිය 03 වැනිදා ලැබුණු පී.සී.ආර්. වාර්තා අනුව එම නිවසේ වාසය කරන දුව, පුතා සහ  ලේලීයට කෝවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.


වෛරසය ආසාදනය වූ පියා වැලිකන්ද කෝවිඩ් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ආසාදිත බව තහවුරු වූ අනෙක් පුද්ගලයන් තිදෙනාද රෝහල් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.  මේ අතර පෑලියගොඩ හා මිනුවන්ගොඩ පොකුරේ බලපෑමෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙවැනි රැල්ලේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ (05දා) වන විට 151ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ නිවෙස්වල නිරෝධායනය වන සංඛ්‍යාව 3,031ක් බවත් කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුමාර් වික්‍රමසිංහ මහතා පැවසීය.


 -රඹුක්කන -එම්.ආර්. ප්‍රියශාන්ත-