වත්තල හැඳල කෙරවලපිටිය පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්තශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 66 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි යු. ඇසෙන්ටා මහත්මිය ඊයේ (8) පැවැසුවාය. කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 802 දෙනකු පී.සී. ආර්. පරික්‍ෂණ සඳහා යොමු කර ඇත.
ඉන් මේ වනවිට ලැබී ඇති ප්‍රතිඵල අනුව එම කර්මාන්තශාලාවෙන් සමස්ත කොරෝනා ආසාදිතයින් 175 දෙනකු වාර්තා වී ඇති බව ද තවත් 125කට ආසන්න ප්‍රමාණයක පී.සී.ආර්. ප්‍රතිඵල ලැබීමට නියමිත බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරිය පැවැසුවාය. මේ අනුව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 604 දක්වා ඉහළ ගොස් ඇතැයි ද
සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරිය කීය. එසේම පුද්ගලයන් 2,000කට අධික පිරිසක් නිරෝධායනය සඳහා  යොමු කර ඇත.  පී.සී.ආර්. පරීක්ෂණ 4,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකර  ඇති අතර ඒවායේ ප්‍රතිඵල කඩිනමින් ලබාගැනීමට උත්සාහ ගන්නා බව ද ඇය වැඩිදුරටත් පැවැසුවාය.


තමන් ඇතුළු වෛද්‍යවරුන්, සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු කාර්ය මණ්ඩල පැය 24 පුරාම සේවා කටයුතුවල නිරත වන බව ද වෙද්‍යවරිය කීය. නිරෝධායනය වන පිරිස් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීමට වත්තල ප්‍රාදේශීය ලේකම් පී.ඩී.ටී.සී. රජිතා මහත්මිය ප්‍රමුඛ ග්‍රාම නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර ඔවුහු ද දිවා රෑ නොබලා කටයුතු කරති.  එසේම වත්තල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්‍ෂක ලලිත් සීලෝගම මහතා ද සිය හිතවත් ව්‍යාපාරිකයන්ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව ඔවුහු ද පිසූ ආහාර මෙන්ම වියළි ආහාර ද නිරෝධායනය වන පිරිස් වෙත ලබාදීමට කටයුතු කළහ.  වත්තල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ආර්. විජයකුමාර් මහතා ද ව්‍යාපාරිකයත් වන ජයතිස්ස රොද්‍රිගු, ෂර්වින් පෙරේරා යන මහත්වරු ද සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් පිරිස් වෙත වියළි ආහාර ලබා දී ඇති අතර ඔවුන් මේ වනවිට ද එම ප්‍රජාසත්කාර වැඩසටහන තවදුරටත් සිදු කරමින් සිටි.
 -සරත් චින්තක-